by Staff writer 20-08-2020 | 7:00 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය අද පෙරවරු 9.30 ට ආරම්භ වේ.
ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ය.
කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීම පළමුව සිදු වේ.
අනතුරුව 9 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දිවුරුම් දෙනු ඇති.
නව මන්ත්‍රීවරුන් 80 කට අධික සංඛ්‍යාවක් ද මෙවර පාර්ලිමේන්තු වරම් ලබා තිබේ.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් පුරප්පාඩුව තිබියදී මෙවර පාර්ලිමේන්තුව රැස්වීම විශේෂත්වයක් ය.
පිය - පුතු යුවල 4 ක් ඇතුළුව ඥාතී සබඳතා සහිත මන්ත්‍රීවරුන් රැසක් මෙවර පාර්ලිමේන්තුව වරම් ලැබුවේ ය.
9 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන ලාබාලතම මන්ත්‍රීවරයා ලෙස 26 හැවිරිදි ජීවන් තොණ්ඩමන් මහතා අද දිවුරුම් දෙනු ඇති.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද පස්වරු 3 ට ඇරඹීමට නියමිත බව ය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමෙන්තුව ඇමතීමට ද නියමිත ය.
ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව එය චාම් උත්සවයකට සීමා කර තිබේ.
මෙරට ප්‍රධානතම සහ පැරණිතම දේශපාලන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තු මංගල රැස්වීම නියෝජනය නොකරන පළමු අවස්ථාව ද මෙය වේ.
එමෙන්ම මෙවර මඩකලපුව දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර යන මන්ත්‍රීවරු අද පැවැත්වෙන මංගල රැස්වීමට බන්ධනාගාරයේ සිට පැමිණීමට නියමිතව තිබීම තවත් විශේෂත්වයක් වේ.