විදුලි බිඳ වැටීම : විමර්ශන කමිටුව අද රැස්වෙයි

දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට: විමර්ශන කමිටුව අද රැස්වෙයි

by Staff writer 18-08-2020 | 7:10 AM
COLOMBO (News 1st) : දිවයින පුරා සිදු වූ විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් විමර්ශනයට කමිටුවක් පත් කර තිබේ. විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය පැවසුවේ, මහාචාර්ය රාහුල අතලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව ක්‍රියාත්මක බවයි. මේ පිළිබද වාර්තාව දින 7 ක් තුළ ලබාදිය යුතු ය. කමිටුවේ පළමු රැස්වීම අද පෙරවරු 8 යි 30ට පැවැත්වීමට නියමිත ය. මේ අතර විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සංක්ෂිප්ත වාර්තාවක් දින තුනක් තුළ ලබා දෙන්නැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසුවේ, විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් සම්පුර්ණ වාර්තාවක් මාසයක් තුළ ලබා දෙන්නැයි දැනුම් දී ඇති බවයි. මේ අතර බිඳ වැටුණු විදුලි සැපයුම ඊයේ රාත්‍රී 10.00 පමණ වනවිට යථා තත්ත්වයට පත්කිරිමට හැකිවු බව විදුලිබල අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, ඇති වූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි. විදුලි සැපයුම බිඳ වැටීමත් සමග ප්‍රදේශ ගණනාවක ජල සැපයුමට ද බාධා එල්ල වුණි. මේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වීමත් සමග ජල සැපයුම ද යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. මෙලෙස දිවයින පුරාම පූර්ණ විදුලිය බිඳ වැටීමක් වාර්තා වුණේ 2016 වසරට පසුව ය. ලංකා විදුලි බල මණ්ඩලය පැවසුවේ කෙරවලපිටිය උප පොළෙහි අලුත්වැඩියාවක් අතරතුර මෙම විදුලිය බිඳ වැටීම සිදුවූ බවයි.