අද සිට දින 4ක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්

අද සිට දින 4ක් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක්

by Staff writer 18-08-2020 | 5:00 PM
COLOMBO (News 1st) : අද සිට ක්‍රියාත්මක වන පරිදි දිනකට පැයක කාලයක් දිවයින පුරා විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ. විදුලි බල මණ්ඩලය පැවසුවේ, දිවයිනම කලාප 4 කට වෙන්කර අවස්ථා හතරකදී විදුලිය විසන්ධි කිරීම සිදුකෙරෙන බවයි. ඒ අනුව, විදුලිය විසන්ධි කරන වේලාවන් වන්නේ, පස්වරු 6 සිට 7 දක්වා, පස්වරු 7 සිට 8 දක්වා, රාත්‍රී 8 සිට 9 දක්වා, සහ රාත්‍රී 9 සිට 10 දක්වායි. විදුලි බල මණ්ඩලය පැවසුවේ, පද්ධතියේ ජනන සැපයුම යථාතත්ත්වයට පත් කෙරෙන තෙක්, දින හතරක් පමණ විදුලිය කප්පාදු කිරිමට සිදුවනු ඇති බවයි. මේ අතර දිවයින පුරා ඊයේ සිදුවු විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන්, විමර්ශනයට පත් කළ 9 දෙනෙකුගෙන් සමන්විත කමිටුව අද කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළ වෙත පැමිණියේ ය. විදුලි බල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ, එහිදී විදුලිය විසන්ධි වීමට හේතු වූ බව කියන ස්ථානය නිරීක්ෂණ කර, ඇතිවූ තත්ත්වය ගැන එහි නිලධාරීන් සමග සාකච්ඡා කළ බවයි. කමිටු වාර්තාව ලබන සඳුදා වන විට ලබා දීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසී ය. දිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන්, විමර්ශනයට ඊයේ පස්වරුවේ කමිටුවක් පත් කෙරිණ. ඒ මහාචාර්ය රාහුල අතලගේ මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර, විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන්, සංක්ෂිප්ත වාර්තාවක් දින තුනක් තුළ ලබා දෙන්නැයි, මහජන උපයෝගීතා කොමිෂන් සභාව, විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබේ. එහි අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා පැවසුවේ, විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන්, සම්පූර්ණ වාර්තාවක් මාසයක් තුළ ලබා දෙන්නැයි දැනුම් දී ඇති බවයි.