by Staff writer 17-08-2020 | 2:09 PM
COLOMBO (News 1st) : බුද්ධ ශාසන අමාත්‍යධුරය ජනාධිපතිවරයා විසින් දැරිය යුතු බවට ප්‍රකාශයක් කරන ලෙස ඉල්ලා නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ ය.
ඔහු පෙන්වා දෙන්නේ, මේ වනවිට ජනාධිපතිවරයා යටතේ පවතින ආරක්ෂක අමාත්‍ය ධූරයද වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙත පැවරීමට සූදානමක් ඇති බව දැනගන්නට ඇති බවයි.
එලෙස කළහොත් එම ක්‍රියාව මෙන්ම බුද්ධ ශාසන අමාත්‍ය ධූරය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙත පැවරීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වීමක් සිදුවී ඇති බවට නිගමනය කරන ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
යම් දිස්ත්‍රික්කයක ඡන්ද දායකයන්ගේ ඡන්දයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් පත්වන මන්ත්‍රීවරයෙකු මෙන් නොව ජනාධිපතිවරයා මුලු රටේම ජනතාවගේ සෘජු ඡන්දයෙන් පත්වන හෙයින් ආරක්ෂක අමාත්‍ය ධූරය හා බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා විසින් දැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කළ යුතු බවත් පෙත්සමේ සඳහන් ය.
එසේ නොකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9, 10 සහ 12 - එක ව්‍යවස්ථාවලින් ආරක්ෂා කර ඇති අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක් හෝ උල්ලංඝණය කිරීමට අත්‍යාසන්න කිරීමක් බවත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද, විධායකයේ ප්‍රධානියා ද වී සිටියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාව අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය යන්න අනුව ක්‍රියා නොකර සිටීමෙන් ජනාධිපතිවරයා නෛතික වැරද්දක් සිදුකර ඇති බව ද පෙත්සම්කරු සිය පෙත්සම මගින් පෙන්වා දී තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස ජනාධිපතිවරයා වෙනුවට නීතිපතිවරයා නම් කර තිබේ.