ලෝක උරුම සිංහරාජය මැදින් මාර්ගයක්..

ලෝක උරුම සිංහරාජය මැදින් ඉදි කරන පාරක් නිසා දැඩි පාරිසරික හානියක්..

by Staff writer 16-08-2020 | 7:48 PM

COLOMBO (News 1st) : සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරය මැදින් මේ දිනවල ඉදිවෙමින් පවතින මාර්ගයක් හේතුවෙන් දැඩි පාරිසරික හානි සිදුවන බවට පරිසර සංවිධාන පවසයි.

එම මාර්ගය ඉදිවෙමින් පවතින්නේ ගිං ගඟ රක්ෂිතයත්, සිංහරාජ ලෝක උරුම වැසි වනාන්තරයත් මැදින් නෙළුව හා දෙනියාය යා කරමින් ය. ශ්‍රී ලංකාව භූමි ප්‍රමාණයෙන් කුඩා වුණත් ලෝකයේ වැඩිම ලෝක උරුම ස්ථාන තිබෙන රට වේ. මේ වර්ග කිලෝ මීටර 65610 තුළ පාරිසරික ලෝක උරුම 2ක් ඇතුළුව ලෝක උරුම 8ක් තිබේ. සිංහරාජය ඉන් එකක් පමණක් නොවෙයි සුවිශේෂී උරුමයකි. අප රටට ආවේණික ශාඛ සහ සත්ත්ව විශේෂ දහස් ගණනක් පවතින මේ කලාපය අප රටට සම්පතකි. නෙළුව සිට ලංකාගම දෙසට ගමන් කළ 'වැසි වනාන්තර සුරකින්නෝ' සංවිධානයේ පරිසරවේදීන් කණ්ඩායමකට මෙම ඉදිකිරීම් ප්‍රදේශය නිරීක්ෂණය විය. අදාළ ඉදිකිරීම් පරිසර හිතකාමී නොවන බැවින් ඔවුන් ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට ලිපියක් ඉදිරිපත් කර තිබේ. එහිදී ඔවුන් පෙන්වාදෙන්නේ අඩි 12ත් 20ත් අතර පළලකින් මෙම මාර්ගය ඉදිකෙරෙන බවයි. මේ අතර අදාළ ඉදිකිරීම් හේතුවෙන් ප්‍රදේශයේ දැඩි නායයාම් අවදානමක් මතුව ඇතැයි ද අදාළ පරිසරවේදීන් පෙන්වා දෙයි. මෙහිදී ප්‍රදේශවාසීන් හා ඉදිකිරීම් කටයුතුවල නිරත නිලධාරීන් පවසන්නේ මෙම මාර්ගය දෙනියාය, පිටදෙනිය දෙසින් ලංකාගම දක්වා ගමන් කරන බවයි. මෙම මාර්ගය ඉදිකිරීමෙන් කුඩා ජල මාර්ග බොහොමයක් අවහිර වීමට ඉඩ ඇති බවත්, ඉදිකිරීම් ක්‍රියාවලියේදී ඉවත් වන පස් ද ගිං ගඟට එකතු වීමේ අවදානමක් ද මතුව තිබේ. ලෝක උරුමයක් වන සිංහරාජ වැසිවනාන්තරය මැදින් මෙලෙස ඉදිකිරීමක් සිදුවීම පිළිබඳව වගකිව යුතු ආයතන ද දැනුවත් වී නොසිටි බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ පරිසරවේදීන් ජනාධිපතිතුමාට යවන ලිපියෙන් පෙන්වා දෙන්නේය. නමුත් අදාළ ඉදිකිරීම සඳහා කිසිදු ව්‍යාපෘති වාර්තාවක් හෝ ලිඛිත අවසරයක් නොමැති බව 'වැසි වනාන්තර සුරකින්නෝ' සංවිධානය ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති ලිපියේ දැක්වේ. පරිසර සංවිධාන ඉල්ලා සිටින්නේ මෙලෙස ඉදිකිරීම් සිදු කරන්නේ නම් පාරිසරික නිර්දේශයන්ට අනුකූලව පරිසර අධ්‍යයනකින්ද පසු නිසි ක්‍රමවේදයක් යටතේ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසය.