මීරිගම සිසුවා අන්ධ වුණේ බෙහෙත් මාරු කළ නිසාද?

මීරිගම සිසුවා අන්ධ වුණේ බෙහෙත් මාරු කළ නිසාද?

by Staff writer 16-08-2020 | 9:46 PM

COLOMBO (News 1st) : මීරිගම ප්‍රදේශයේ සිසුවෙකු හදිසියේ රෝගාතුරව දෑස් නොපෙනෙන තත්ත්වයට පත් වීමේ සිද්ධියක් පිළිබඳව අප ඊයේ වාර්තා කළෙමු.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අද එම සිසුවා හමුවීමට ගියේ ය.
ලෙනින් නිරෝෂන් කුමාර පසුගිය වසරේ අගෝස්තු මාසයේ රෝගාතුර වූයේ අපස්මාරය හේතුවෙන් ය.
නිසි පරිදි මාසිකව වෛද්‍ය සායනවලට සම්බන්ධ වන ලෙස වෛද්‍යවරුන් ඔහුට උපදෙස් දී තිබුණත් කොරෝනා වෛරසයේ බලපෑමත් සමග ජනතාව නිවෙස්වලට සීමා වීම නිසා දරුවාට සායනවලට සම්බන්ධ වීමට හැකි වී නැහැ.
එවක බලධාරීන් උපදෙස් දුන් ආකාරයට මවුපියන් ඔහුට අවශ්‍ය ඖෂධ මීරිගම රෝහලෙන් ගෙන්වා ගෙන ඇත්තේ තැපැල් මාර්ගයෙන් ය.
එම ඖෂධ භාවිතයෙන් පසු දරුවා දැඩි ලෙස රෝගාතුර වූ බවත් දෑස් නොපෙනෙන තත්ත්වයකට පත් වූ බවත් මවුපියන් පැවසුවේ ය.
මීරිගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී ජයන්ත අබේරත්න මහතා පැවසුවේ සිදුවීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පරීක්ෂණ පවත්වන බවයි.
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලෙනින් නිරෝෂන් කුමාර සිසුවා හමුවූ අවස්ථාවේ ඔහුගේ වෛද්‍ය වාර්තා ද පරීක්ෂා කළේ ය.
 
ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා 
දැන් ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙමයි මේකේ පේන හැටියට මෙයා සෝඩියම් ඇල්කොයිඩ් කියන බෙහෙත තමයි මෙයා අරන් තියෙන්නේ. එතකොට අප්‍රේල් 3 වැනිදා ක්ලිනික් එකට ගියාම ඒ බෙහෙත මාරු කරලා තියනවා පෙරටොයින් කියන බෙහෙතට. ඒ බෙහෙත නිසා ඇති වෙච්ච අතුරු ඵලයක් තමයි ඔය ඇති වෙලා තියෙන්නේ. අප්‍රේල් 3 හදිසියේ ඇයි බෙහෙත වෙනස් කරේ කියන එක ගැන විමර්ශනයක් කරන්න වෙනවා.
 අම්මා  
කවුරුහරි පිහිට වෙලා දරුවාගේ ඇස් දෙක සනීප කරලා දෙන්න
රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමා සමග සාකච්ඡා කරලා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා කඩිනමින් වාර්තාවක් ලබාගෙන ඒ දරුවාට සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මීරිගම ප්‍රාදේශීය ලේකම්තුමා. මේ දරුවාට අවශ්‍ය මූලික පහසුකම් ටික දෙන්න. මාසිකව ඒ අවශ්‍ය වියදම ලබාදීම සඳහා යම් වන්දි මුදලක් ලබාදීම සඳහා එතුමා එකගතාව පල කරා . සමෘද්ධිලාභී පවුලකට මෙහෙම ප්‍රශ්නයක් ඇති වුණාම වන්දියක් ලබා ගැනීමේ හැකියාවක් තියනවා. ඒවත් මම සාකච්ඡා කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. මේ දරුවාගේ පෙනීම නැවත ලබාගැනීම සඳහා.  කරන්න පුළුවන් ඉහළම දේ කරන්නත් . ඒ වෙනුවෙන් මැදිහත් වෙන්නත් මම බලාපොරොත්තු වෙනවා.