දරුවෙකුට ධීවරයින් කළ හිංසනයේ විමර්ශන..

මහ මුහුදේදී හිංසනයට ලක් වූ දරුවා ලිංගික අපයෝජනයකට ලක්ව ඇතැයි වාර්තා?

by Staff writer 16-08-2020 | 9:41 PM

COLOMBO (News 1st) : මුහුදේදී ධීවර පිරිසක් අතින් හිංසනයට ලක්වූ බව කියන 16 හැවිරිදි දරුවා ලිංගික අපයෝජනයකට ලක්ව ඇතැයි වාර්තා වන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, දරුවා කළ ප්‍රකාශකට අනුව ඒ සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරන බවයි මාතර පදිංචි 16 හැවිරිදි මෙම පිරිමි දරුවා පසුගිය ජුනි 28 වැනිදා තවත් ධීවරයින් සිව්දෙනෙකු සමග මුහුදු ගොස් ඇත්තේ බහු දින ධීවර යාත්‍රාවකින් ය. දින 48 ක් ඔවුන් මුහුදේ ගත කර ඇති අතර එම කාලය තුළ ඔහු දරුවා වද හිංසනවලට ලක්ව ඇති බව පොලීසිය පැවසුවේ ය. ඔවුන් පසුගිය 12 වැනිදා ගොඩ බිමට පැමිණ ඇති අතර පොලීසිය පැවසුවේ යාත්‍රාවේ හිමිකරු සහ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. දරුවාගේ මව
ආවෙත් හොඳටම ඇවිදගන්න බැරුව. බෝට්ටුව ගොඩ කරලා ඉවරවෙලා එතනින් වීල් එකක ගෙදර ආවේ. දරුවට හොඳටම ඒ මාස ගාණට හොදටම ගහලා තියනවා. දරුවාට ඇවිද ගන්නත් අමාරුයි. දරුවගේ ඇඟපත ඔක්කොම තුවාල. කොන්ඩෙත් කපලා . අපට සාධාරණයක් කරලා දෙන්න. දරුවට කොන්දට ගහලා ඇට මෙව්වා වෙලා. ප්ලේට් එකක් දාගන්න රුපියල් 20,000 ක් විතර ඕන කිව්වා . දරුවා මට ගේ හදලා දෙන්න කියලා රස්සාවේ ගියේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා
අල්ලා ගන්නා ලද මාලුවෙකු මුහුදට යාම නිසා ඇති වූ කෝපය මත තමයි දරුවාට හිංසා කළ බවට දැනට තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ . මුහුදේ ගත කරන ලද සමස්ත කාල සීමාව තුළදීම විවිධ හිංසනයන්ට ලක්වූ බවට තොරතුරු අනාවරණය වෙලා තියනවා . දැනට මේ දරුවා රෝහල්ගත කර වෛද්‍ය පරීක්ෂණවලට ලක් කරමින් පවතිනවා. හිමිකරු වසය අවුරුදු 64 ක පමණ පුද්ගලයෙක් . ඒ වගේම මිරිස්ස ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තැනත්තෙක් සහ බණ්ඩාරමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තියෙනවා. ගෝඩාහැන්නදිගේ දිමුතු සංජීව සහ ගීගනගේ ඩිලාන් මදුරංග අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන කටයුතු සිද්ධ කරනවා. දැනට දරුවාගේ ප්‍රකාශය අනුව ලිංගික අපයෝජනයක් සිද්ධ කළ බවට වාර්තා වෙනවා . මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයාගේ වාර්තාව ලැබුණාට පස්සේ එය සිදු කර තිබෙනවා නම් ඔවුන්ට විරුද්ධව චෝදනා ඉදිරිපත් කිරීම සඳහා බලාපොරොත්තු වෙනවා.