කහ කුඩුවලට 50% ක් පිටි කවළම්

කහ කුඩුවලට 50% ක් පිටි කවළම්... පරීක්ෂණවලින් හෙළිවෙයි

by Staff writer 16-08-2020 | 1:41 PM

COLOMBO (News 1st) - වෙළෙඳ පොළේ අලෙවියට ඇති කහ කුඩු බහුතරයකට පාන් පිටි සහ සහල් පිටි කවළම් කර ඇති බව හෙළිව තිබේ.

ඒ, පාරිභෝගික කටයුතු අධිකාරිය කළ පරීක්ෂාවකදීය. එම අධිකාරිය පැවසුවේ, කහ හිඟයත් සමග වර්ණක සහ පිටි කවළම් කර කහ විකුණන බවට ලද පැමිණිලිවලට අනුව ලබාගත් කහ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කොට පරීක්ෂා කළ බවයි. ඒ අනුව රජයේ රස පරීක්ෂක නිකුත් කළ වාර්තාවලින් හෙළිව ඇත්තේ, අලෙවියට තබා ඇති කහ කුඩුවලින් 50% ක්ම පාන් පිටි සහ සහල් පිටි කවළම් කර ඇති බවය. ඒ අනුව එම කහ කුඩු අලෙවි කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය පැවසීය. කහවලට විවිධ දේ මිශ්‍ර කිරීම සම්බන්ධයෙන් සාම්පල ලබාගනිමින් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකවේ. මේ අතර උපරිම සිල්ලර මිල ඉක්මවා කහ අලෙවි කරන පුද්ගලයින්ට එරෙහිව ද පරීක්ෂණ ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ ය. කහ කුඩු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රු. 750 ක් බව ද එම අධිකාරිය සඳහන් කර තිබේ.