අංගොඩ ලොක්කාගේ සමීපතමයා ගැන විමර්ශනයක්

''අංගොඩ ලොක්කා'' සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයා ගැන ඉන්දීය පොලීසියෙන් විමර්ශනයක්

by Staff writer 16-08-2020 | 7:41 PM
    අංගොඩ ලොක්කා සමග ඉන්දියාවේදී සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයා පිළිබඳව ඉන්දීය පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබේ. මෙරට පාතාල කල්ලි නායකයෙකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් ''අංගොඩ ලොක්කා'' ඉන්දියාවේ කොයිම්බතුර්හි සිටියදී ගිනි අවියක් ළඟ තබා ගෙන ඇතැයි තමිල්නාඩු අපරාධ අංශය පවසන බව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත් පතේ වාර්තාවක සඳහන් ය. ඔහු හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය ජූලි 03 වැනිදා මියගිය අතර කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාලයේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද එම වාර්තාවේ දැක්වේ. අංගොඩ ලොක්කාගේ දේහය මදුරෙයි වෙත රැගෙන ගොස් තිබුණේ ඔහු සමග දැඩි සම්බන්ධකම් පවත්වා ඇති නීතීඥ සිවකාමි සුන්දරී සහ අමානි ධංජි විසින් යැයි තහවුරු වී ඇති බවද මෙහි සඳහන් ය. ඔවුන් දෙදෙනා ''අංගොඩ ලොක්කා''ට අයත් බව කියන පිස්තෝලය ඔහුගේ හවුල්කරුවෙකුට ලබා දී ඇති බව ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර තිබේ. සිවකාමි සුන්දරී සහ අමානි ධංජි විසින් ව්‍යාජ ලියකියවිලි සකස් කර ප්‍රදීප් සිං නමින් ''අංගොඩ ලොක්කා'' සඳහා ආධාර කාඩ්පතක් ලබා ගෙන ඇතැයි පසුගිය සෙනසුරාදා එරට අපරාධ අංශයේ අපරාධ විමර්ශන කොට්ඨාසය කරුණු අනාවරණය කර ගෙන තිබුණි. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත සඳහන් කර ඇත්තේ අංගොඩ ලොක්කා මෙම කාඩ්පත රජයේ නිලධාරීන්ට සාක්ෂි ලෙස පෙන්වීමට සහ නිවාස කිහිපයක් කුලියට ගැනීමට භාවිත කර ඇති බවයි. අංගොඩ ලොක්කා 2018 සිට කොයිම්බතූර්හි සරවනම්පට්ටිහි මහල් නිවාසයක ප්‍රදීප් සිං ලෙසින් රැඳී සිට ඇති බවත් 2020 පෙබරවාරි මාසයේදී චෙරන් මා නගර් ප්‍රදේශයේ ග්‍රීන් ගාඩ්න්හි කුලී නිවසකට ගොස් ඇති බවත් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වාර්තාවේ සඳහන් ය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 2020 මාර්තු මාසයේදී අමානි ධංජි යන අය ''අංගොඩ ලොක්කා'' සමග එක්ව වාසය කර ඇති බවයි.