නව මන්ත්‍රීවරුන් 175ක් Online ලියාපදිංචි වෙයි

Online හරහා මන්ත්‍රීවරුන් 175 දෙනෙකු පාර්ලිමේන්තුවේ ලියාපදිංචි වෙයි

by Staff writer 15-08-2020 | 7:25 AM

COLOMBO (News 1st) : Online ක්‍රමවේදය ඔස්සේ මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 175 කට ආසන්න පිරිසක් සිය දත්ත පාර්ලිමේන්තුව වෙත ලබාදී තිබේ.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය පැවසුවේ ලබන 20 වැනිදා ආරම්භ කිරීමට නියමිත 09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරු 175 ආසන්න පිරිසක් මේ වනවිට සිය දත්ත Online ක්‍රමයට පාර්ලිමේන්තුව වෙත ලබා දී ඇති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට Online ඔස්සේ පාර්ලිමේන්තුවේ ලියාපදිංචිවීමට ලබාදී තිබූ කාල සීමාව අදින් අවසන් වෙයි. පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පසුගියදා ඉල්ලා සිටියේ ලබන 20 වැනිදා පැවැත්වෙන මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට මෙම තොරතුරු අත්‍යාවශ්‍ය වන බැවින් අද දිනයට පෙර Online ඔස්සේ අයැදුම්පත්‍රය පුරවා සිය දත්ත පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙසයි. මේ අතර ලබන 20 වැනිදා පස්වරු 3 ට ජනාධිපතිතුමා විසින් නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ , එදින පැවැත්වෙන මංගල රැස්වීමේ මුලසුන ගනිමින් ය. පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 20 වැනිදා උදෑසන 9.30 ට අභිනව පාර්ලිමේන්තුව රැස්වෙමින් කතානායකවරයා තෝරා ගැනීමට නියමිත බවයි. ඉන් අනතුරුව මන්ත්‍රී දිවුරුම හෝ ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරේ. පසුව නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීමට නියමිතය. අනතුරුව කතානායකවරයා පාර්ලිමේන්තුව එදින පස්වරු 3 දක්වා කල් තබනු ඇති බවද පාර්ලිමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.