තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු පිරිසක් ගැසට් කෙරේ

සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් ගැසට් කෙරේ

by Staff writer 15-08-2020 | 8:30 AM

COLOMBO (News 1st) : තවත් පක්ෂ 2 ක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ රාත්‍රීයේ නිකුත් කෙරුණි.

සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය යන පක්ෂවලින් ජාතික ලැයිස්තුවෙන් නම් කෙරුණු සභික නාම ලේඛනය එලෙස ගැසට් කර තිබේ. සමගි ජන බල වේගයට මෙවර මැතිවරණයෙන් හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 7 කි. ඒ අනුව ,
රංජිත් මද්දුමබණ්ඩාර තිස්ස අත්තනායක ඉමිතියාස් බාකීර් මාකර් ඉරාන් වික්‍රමරත්න හරීන් ප්‍රනාන්දු මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇතැයි නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයේ සඳහන් ය.
මීට අමතරව ජාතික ජන බලවේගයට මෙවර මැතිවරණයෙන් හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හරිනී අමරසූරිය තේරීපත්ව ඇතැයි එම ගැසට් නිවේදනයේ සඳහන් වේ. තවත් පක්ෂ පක්ෂ 3 ක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය 10 වැනිදා රාත්‍රීයේ නිකුත් කෙරුණි. එලෙස නිකුත් කෙරුණේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයෙන් මෙවර ජාතික ලැයිස්තුවෙන් නම් කෙරුණු සභික නාම ලේඛනයයි. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු අසුන සඳහා වන නම මෙතෙක් මැතිවරණ කොමිසමට භාර දී නොමැත.