ජාතික ලැයිස්තුව: තවත් නම් කිහිපයක් අද ගැසට් කෙරේ

තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නම් ගැසට් කිරීමට අද මුද්‍රණයට

by Staff writer 14-08-2020 | 8:35 AM

COLOMBO (News 1st) - තවත් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නම් ගැසට් කිරීම සඳහා අද පෙරවරුවේ මුද්‍රණයට යවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බලය පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා නම් නොමැතිවයි. මෙවර පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තූ මන්ත්‍රී ධූර 29, පක්ෂ 7 ක් අතරේ බෙදී ගියේය. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව 17 කි. සමගි ජන බලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 7 ක් හිමිවිය. ජාතික ජන බලවේගය, අපේ ජන බල පක්ෂය ,ඉලගංගෙයි තමිල් අරුසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය බැගින් හිමිව තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින්, මහාචාර්ය ජී.එල්.පීරිස් නීතිඥ සාගර කාරියවසම් අජිත් නිවාඩ් කබ්රාල් මොහොමඩ් අලි සබ්රී ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මංජුලා දිසානායක ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහාචාර්ය චරිත හේරත් ගෙවිදු කුමාරතුංග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් මුසාම්මිල් මහාචාර්ය තිස්ස විතාරණ යදාමිණි ගුණවර්ධන ආචාර්ය සුරේන්ද්‍ර රාඝවන් ටිරාන් අලස් විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සහ මොහොමඩ් ෆලීල් මර්ජාන් යන මහත්ම මහත්මීන්ගේ නම් ඇතුලත් ජාතික ලැයිස්තුව පසුගියදා ගැසට් කෙරුණි. රංජිත් මද්දුමබණ්ඩාර හරින් ප්‍රනාන්දු ඉම්තියාස් බාකිර් මාකර් තිස්ස අත්තනායක ඉරාන් වික්‍රමරත්න මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කෙරුණේ ඊයේ දිනයේදීයි. ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පත් කෙරුණා. ඊට අමතරව, ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයෙන් තවරාසා කලෙයි අරසන් සහ අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයෙන් සෙල්වරාසා ගජෙන්දිරන් යන මහත්වරුන් පාර්ලිමේන්තු සභිකයින් ලෙස නම් කර කෙරුණා.