බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජනපති කොමිසම හමුවට

බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජනපති කොමිසම හමුවට

by Staff writer 14-08-2020 | 8:53 PM
COLOMBO (News 1st) : ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් විදේශ බුද්ධි අංශ සහය ලැබීමට පෙර සිටම සහරාන් හෂීම්ට රට තුළ ප්‍රහාරයක් එල්ල කිරීමේ ශාරීරික හා මානසික හැකියාව ඇති බවට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළේ ය. ඔහු මේ බව පැවසුවේ, 2019 අප්‍රේල් 21 ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමිනි. කොමසාරිස්වරයකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කියා සිටියේ, 2019 ජනවාරියේ වනතාවිල්ලුව පුපුරණ ද්‍රව්‍ය වැටලීමෙන් පසු රට තුළ ප්‍රහාරයක් කිරීමට සහරාන්ගේ භෞතික හැකියාව පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවය දැන සිටි බවයි. සහරාන්ගේ අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය සතුව කිසිදු වාර්තාවක් නොමැති බවත්, පුපුරණද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් ඔවුන් පරීක්ෂණයක් නොකළ බවත්, කියා සිටි ඔහු රට තුළ ප්‍රහාරයක් කිරීමට සහරාන්ගේ හැකියාව පිළිබඳව දැන සිටි බවද සඳහන් කළේ ය. ත‍්‍රස්ත ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් 2019 අප්‍රේල් 04 වන දින විදේශ බුද්ධි අංශ වෙතින් තොරතුරු ලැබීමෙන් පසු සහරාන් පිළිබඳ මූලික වාර්තා ලබාගෙන ඇති බවත්, ඒ පිළිබඳව ජාතික බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා වෙත දැනුම් දීමට තීරණය කළ බවත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ ය. ඔහු සඳහන් කළේ, විදේශ බුද්ධි අංශ පිළිබඳව එවක පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට දැනුම් දීමට රාජ්‍ය බුද්ධි අංශය කටයුතු කළ බවයි. අවශ්‍ය පියවර ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානි සිසිර මෙන්ඩිස් යන මහත්වරුන් වෙත විදේශ බුද්ධි අංශ තොරතුරු 2019 අප්‍රේල් 7 වන දින යැවීමට පියවර ගත් බවද ජයවර්ධන මහතා සඳහන් කළේ ය. ලබන 17 වැනිදා ජයවර්ධන මහතා යළිත් කොමිසම හමුවේ සාක්ෂි දීමට නියමිතයි.