ගුවන් සේවා 3ක ෂැන්හයි ගුවන් ගමන් අත්හිටුවයි

ශ්‍රීලංකන් ඇතුළු ගුවන් සේවා 3ක ෂැන්හයි ගුවන් ගමන් අත්හිටුවයි

by Staff writer 13-08-2020 | 9:40 PM
COLOMBO (News 1st) : ශ්‍රීලංකන් ගුවන් සේවය ඇතුළු ගුවන් සේවා 3 ක ෂැන්හයි ගුවන් ගමන් අත්හිටුවීමට එරට සිවිල් ගුවන් සේවා නියාමන ආයතනය පියවර ගෙන තිබේ. ඒ එම ගුවන් සේවාවලින් චීනය වෙත රැගෙන ගිය මගීන් පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවීම හේතුවෙනි. චීන සිවිල් ගුවන් සේවා පාලනාධිකාරිය උපුටා දක්වමින් ෂින්හුවා ප්‍රවෘත්ති සේවය අනාවරණය කළේ, පසුගිය 07 වන දා පියාසර කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ U L 866 දරණ යානයේ ගමන් ගත් මගීන් 23 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි, තහවුරු වී ඇති බවයි. එතිහාඩ් ගුවන් සේවයේ E Y 862 යානයේ අගෝස්තු 03 වැනිදා ගමන් ගත් මගීන් 3 දෙනෙකුට සහ චයිනා ඊස්ටන් ගුවන් සේවයේ අගෝස්තු 05 වැනිදා ගමන් ගත් මගීන් අතරින් 6 දෙනෙකුට කොරොනා ආසාදනය වී ඇති බවද සනාථ වී තිබේ. ෂින්හුවා ප්‍රවෘත්ති සේවය අනාවරණය කළේ මෙම තත්ත්වය මත ශ්‍රීලංකන් ගුවන් සේවයේ කොළඹ සහ ෂැන්හයි අතර ගුවන් ගමන් මාසක කාලයකට අත්හිටුවා ඇති බවයි. සෙසු ගුවන් සේවා දෙකේ ගුවන් ගමන් සතියක කාලයකට අත්හිටුවා තිබේ. චීනයේ වත්මන් ප්‍රතිපත්තියට අනුව මගී ගුවන්යානාවලින් චීනයට පැමිණෙන කිසිදු මගියෙකුට කොරොනා ආසාදනය වී නොමැති බව සති තුනක කාලයක් අඛණ්ඩව තහවුරු වන්නේ නම් එම ගුවන් සේවයට සතියකට චීනය බලා ගුවන් ගමන් දෙකක් ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දෙයි. පැමිණෙන යානයක, මගීන්ගෙන් පස් දෙනෙකුට කොරොනා ආසාදනයවී ඇති බව තහවුරු වුවහොත් අදාළ ගුවන් සේවයේ ගුවන් ගමන් සතියක කාලයකට අත්හිටුවන අතර ආසාදිතයින් සංඛ්‍යාව 10 ඉක්මවුවහොත් සති 4 ක කාලයකට ගුවන් ගමන් අත්හිටුවීම චීනයේ නව ප්‍රතිපත්තියවී තිබේ. මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් අප විමසීමක් කළේ ය. එම ගුවන් සේවය පැවසුවේ, ඩුබායි සිට කොළඹ හරහා ෂැන්හයි වෙත පියාසර කළ U L 866 දරණ ගුවන් යානයේ ගමන් ගත් මගීන් පිරිසකට මෙලෙස කොරොනා ආසාදනය වී ඇති බවයි. එම මගීන් කොළඹින් යානයට ඇතුළු වූ මගීන් පිරිසක් නොවන බව ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහන් කළේ ය. ඩුබායිහිදී PCR පරික්ෂණවලට ලක් කරන ලද මගීන් පිරිසක් මෙලෙස චීනයට ඇතුළු වීමේදී කොරෝනා ආසාදිත බව හඳුනා ගෙන තිබේ.