ජල සම්පාදන අමාත්‍යවරයාගේ අවධානයට

ජල සම්පාදන අමාත්‍යවරයාගේ අවධානයට

by Staff writer 13-08-2020 | 9:58 PM
COLOMBO (News 1st) : පිරිපහදු ජලය විකිණීම මිස අන් කිසිවක් රටේ ජනයාට විකිණීමේ හිමිකමක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට අදාළ පනත ප්‍රකාරව නම් පැවරී නොමැත. එහෙත් ඇතැම් අවස්ථාවල ජල කරාම විවෘත කිරීම සමග ජලය වෙනුවට හුළං පිටවීම ජල මනුවල සටහන් වෙද්දී, මණ්ඩලය එකී සටහන් අනුව යමින් තම පාරිභෝගිකයින්ගෙන් ගාස්තු අය කරගනී අම්පාර දිස්ත්‍රික්කයේ උහන, දමන, නාවිදන්වේලි හා , අම්පාර යන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙල්ලාවලි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පදිංචි ජල පාරිභෝගිකයින් පනස් දහසකට ආසන්න පිරිසක් 2014 වසරේ සිට මේ දක්වා ජල සම්පාදන මණ්ඩලයට වැඩිමනත්ම ගාස්තු ගෙවා ඇත්තේ ජලය සඳහා නොව, හුළං සඳහායි. අදාළ ප්‍රදේශවල ජල කරාම විවෘත කෙරෙන බොහෝ අවස්ථාවල හුළං පිටවීම කාර්මික දෝෂයක් නොව මණ්ඩලයේ නොහැකියාවේ ප්‍රතිඵලයකි. ඔස්ට්‍රේලියානු ආණ්ඩුවේ ආධාර මත 1996 වසරේදී මුල පිරෙන අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලට පානීය ජලය සැපයීමේ ව්‍යාපෘතියේ තුන්වන අදියරට අදාළ ප්‍රදේශ අයත් වේ. හිමිදුරාව ජලාශය ජල මූලාශ්‍රය කරගනිමින් ජලය සැපයීමේ ව්‍යාපෘතියට මුල පිරුණේ 2012 වසරේ ජනවාරි 2 වැනිදායි. හිමිදුරාව ජලාශය සමීපයේ ජල පොම්පාගාරයක් ඉදි කිරීමට අමතරව ව්‍යාපෘතියේ වැදගත්ම කොටස වූයේ අදාළ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 5 තුළ ජල කුළුණු 6 ක් ඉදි කිරීමයි. එක් කුළුණක් සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් කෝටි 10 ඉක්මවයි. කුළුණු 6යේ ඉදි කිරීම් 2013 වසරේ දෙසැම්බර් 31 වැනිදා වන විට සම්පූර්ණ කළ යුතු වුවත්, අදටත් වැඩ නිම කෙරී නොමැත. එබැවින් 2014 වසරේදී පාරිභොගිකයින් වෙත ජලය සැපයීමට මුල පිරෙන්නේ මෙම කුළුණුවල සිට නොව සෘජුවම හිමිදුරාව ජලාශය සමීපයේ පිහිටි ජල පොම්පාගාරයෙනි. ඒ හේතුව මත පැය 24 පුරා අඛණ්ඩව ජලය සැපයීමට නොහැකි වී තිබේ. ජලයට අමතරව හුළංවලට ද ගාස්තු ගෙවමින් පාරිභෝගිකයින් විඳින පීඩාවට විසඳුම ලෙස මෙම ජල කුළුණුවල වැඩ කඩිනමින් නිම කළ යුතුව තිබියදී,, මණ්ඩලය මේ දිනවල හිමිදුරාව පොම්පාගාරයේ සිට මේ කුලුණු වෙත නළ එළමින් සිටී. මේ අකාරයට ජල නළ එළුව ද මේ ඔස්සේ ගලා එන ජලය කුළුණුවලට පිරවිය නොහැකියි. මෙම ව්‍යාපෘතිය භාරව සිටි, ජලසම්පාදන මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ව්‍යාපෘතියට වග නොකියා රට හැර ගොස් සිටියදී අනුප්‍රාප්තිකයින් කරමින් සිටින්නේද වවාගෙන කෑමක් නොවේද ? ජල සම්පාදන අමාත්‍යතුමනි ! මේ ඔබේ අවධානය පිණිසයි. https://www.facebook.com/NewsfirstSL/videos/912457095904553/