මහැදුරු ගංගානාත් දිසානායකයන් නික්ම යයි

මහැදුරු ගංගානාත් දිසානායකයන් නික්ම යයි

by Sagarika Chathumali 13-08-2020 | 8:45 PM
COLOMBO (News 1st) : අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතාගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණ. අභාවප්‍රාප්ත වන විට 62 වැනි වියේ පසු වූ දිසානායක මහතා දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කලක් කටයුතු කළ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා අභාවප්‍රාප්ත වූයේ මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ අංශාධිපතිවරයා ලෙසත්, රාජ්‍ය මාධ්‍ය ආයතන කිහිපයක සභාපතිවරයා ලෙසත් ඔහු මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් මාහැගි මෙහෙවරක් ඉටු කළ මහාචාර්යවරයෙකි. දිසානායක මහතාගේ දේහය අද පෙරවරුවේ සිට තැන්පත් කර තිබුණේ මත්තේගොඩ සම්බුද්ධිවත්තේ පිහිටි නිවසේයි. ඔහුට අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් එහි පැමිණියහ. අද පස්වරුවේ නිවසේදී ආගමික කටයුතු සිදු කළේ, කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, පූජ්‍ය ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා මෙහිදි ධම්මික ගංගානාත් දිසානායක මහතා පිළිබඳ මතකය අවදි කළ අතර ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ මහතා විසින් සටහන් කර දුන් ස්තුති කථාව අවමංගල්‍ය සභාවට ඉදිරිපත් කළේ අභාවප්‍රාප්ත මහාචාර්යවරයාගේ ඥාතිවරයෙකු වූ චත්‍රපානි පියසේන මහතායි. එම කටයුතුවලින් අනතුරුව දේහය බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන ගියේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/297809167948023/

ගංගානාත් දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ…

මහාචාර්ය ධම්මික ගංගානාත් අභාවප්‍රාප්ත වෙයි