කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරු වැඩ අරඹති

කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරු කිහිප දෙනෙක් වැඩ අරඹති

by Staff writer 13-08-2020 | 10:09 PM
COLOMBO (News 1st) : නව කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද ධුරයේ වැඩ ආරම්භ කළහ. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේදී වැඩ භාරගත්තා ය. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද වැඩ ඇරඹුවේ කිරුළපන පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේදීයි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ද අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද ධුරයේ වැඩ ඇරඹී ය. නව රජයේ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද පෙරවරුවේ රාජකාරී ආරම්භ කළේ ය. ඒ පැලවත්තේ පිහිටි ජල සම්පාදන අමාත්‍යංශයේදීයි. සංචාරක අමාථ්‍යාංශයේදී අද පෙරවරු 6.45 ට යෙදුණු සුභ මොහොතින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද අද පෙරවරු රාජකාරී ආරම්භ කළේ ය. නව රජයේ මහා මාර්ග අමත්‍යවරයා ලෙස පත් වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩ ඇරඹුවේ කුරුණෑගල මලියදේව විද්‍යාලය ඉදිරිපිට යෝජිත නව උමං මාර්ගය ඉදිකිරීමට මුල්ගල තබමිනි. අදාල ව්‍යාපෘතියේ ඇස්තමේන්තු ගත වියදම රුපියල් ලක්ෂ 558 යි. එම අවස්ථාවට නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විදුලිබල අමාත්‍යාංශයේදියි අද වැඩ ඇරඹී ය. එහිදී අදහස් දැක්වු අලහප්පෙරුම මහතා සඳහන් කළේ ජනාධිපතිතුමාගේ ඒකායන අධිෂ්ඨානය වන ශ්‍රී ලංකාව සෞභ්‍යාගයේ දේශයක් බවට පත් කිරීමේ භාරදුර කර්තව්‍යයට අප සියලු දෙනාම ඇපකැප විය යුතු බවයි. මේ අතර රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙක් ද අද වැඩ භාරගත්හ. බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන, රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය අද සිය ධූරයේ රාජකාරී ආරම්භ කළා ය. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප‍්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ද අගමික වතාවත් මැද රාජකාරි ආරම්භ කළේ ය. ඒ සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදීයි. ග‍්‍රාමීය හා ප‍්‍රාදේශීය පානීය ජලසම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අද පෙරවරුවේ පැලවත්තේ පිහිටි ජල සම්පාදන අමාත්‍යංශයේදී වැඩ ආරම්භ කළේ ය. නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි අමාත්‍යංශයෙදී රාජකාරි ඇරඹී ය. ලොහාන් රවත්තේ මහතා සිය රාජකාරී ආරම්භ  කළේ නාරාහේන්පිට පිහිටි සිය අමාත්‍යාංශයේදීයි. https://www.facebook.com/NewsfirstSL/videos/239673970426392/