Port City ⁣සේවක විරෝධතාව තෙවැනි දිනටත්..

Port City ⁣සේවක විරෝධතාව තෙවැනි දිනටත්..

by Staff writer 12-08-2020 | 8:41 PM

COLOMBO (News 1st) - කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සේවයේ නියුතුව සිටි පිරිසක් අද තෙවැනි දිනටත් විරෝධතාවක නිරත විය.

ඒ, තමන් යළි සේවයේ පිහිටුවන්නැයි ඉල්ලමිනි. ඔවුන් මෙලෙස විරෝධය පළ කළේ, ජනාධිපති කාර්යාලය ආසන්නයේ විරෝධතාකරුවන් වෙනුවෙන් වෙන්කර ඇති ප්‍රදේශයේදීය. වරාය නගරයේ උපකොන්ත්‍රාත් සමාගමකට අනුයුක්තව සේවය කරමින් සිටි තමන් මාස 5 කින් පමණ සේවයට කැඳවා නොමැති බව ඔවුන් පවසයි. පසුව විරෝධතාකරුවන් යළිත් වරාය නගර භූමියට පැමිණ විරෝධය පළ කළ අතර ව්‍යාපෘතියේ ඉහළ නිලධාරියෙකු පැමිණ ඔවුන් හමුවී තිබුණි. එහිදී ඔහු විරෝධතාකරුවන්ට ලිඛිතව දැනුම් දී තිබුනේ රැකියා සඳහා කැඳවා නොමැති පිරිසට ද ව්‍යාපෘතිය භූමියට පැමිණීමට මින් පසු අවස්ථාව ලැබෙන බවය. ඒ අනුව විරෝධතාව තාවකාලිකව අවසන් කිරීමට විරෝධතාකරුවන් තීරණය කළේ ය. කෙසේ වෙතත් විරෝධතාකරුවන් පැවසුවේ, සිය රැකියා සම්බන්ධ ගැටලුව තවමත් විසඳා නොමැති බවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරන සී.එච්.ඊ.සී. පෝට් සිටි කලම්බු පුද්ගලික සමාගම පවසන්නේ, කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් සමාගමක සේවයේ යෙදී සිටි සහ කොන්ත්‍රාත් කාල සීමාව අවසන් කළ කණ්ඩායමක් එකී කොන්ත්‍රාත් සමාගම ගනු ලැබු නීත්‍යනුකූල තීරණවලට එරෙහිව ඉකුත් අගෝස්තු 11 වැනි දා විරෝධතාවක නිරතව ඇතැයි වාර්තා වී තිබෙන බවයි. මෙම තත්ත්වය වරාය නගර අයෝජන සමාගම හෙවත් සී.එච්.ඊ.සී. පෝට් සිටි කලම්බු පුද්ගලික සමාගම හෝ ව්‍යාපෘතිය සමග සෘජු සබඳතාවක් නොමැති කොන්ත්‍රාත්කාර සමාගමක් හා එහි සේවක පිරිස අතර ඇති වූවක් බව ද මෙහි දැක්වේ. අදාළ සේවකයින් නිවැරදි හා විධිමත් ක්‍රමවේදයෙන් සිය ගැටලු විසඳා ගැනීම වෙනුවට මෙවැනි උද්ඝෝෂණ මාර්ගයකට අවතීර්ණ වීම විමතිය දනවන සුළු බව ද නිවේදනයේ සඳහන් ය. වරාය නගරයේ සේවය කරන 1500කට අධික දේශීය සේවක පිරිස වෙත කිසිදු අගතියක් නොවන ලෙස රැතියා සුරක්ෂිතභාවය වෙනුවෙන් සමාගම කැපවී සිටියදී මෙලෙස ක්‍රියා කිරීම ගැන කණගාටුවට පත් වන බව ද මෙහි දැක්වේ.