කුරුණෑගල නගරාධිපතිගේ වරෙන්තුව සම්බන්ධයෙන් නියෝගයක්

කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනාට නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක නොකරන්නැයි නියෝග

by Staff writer 12-08-2020 | 4:08 PM

COLOMBO (News 1st) - කුරුණෑගල නගරයේ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති දේපොළ කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තු නියෝගය ලබන 24 වැනි දා දක්වා ක්‍රියාත්මක කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අද පස්වරුවේ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, කුරුණෑගල නගරාධිපතිවරයා ප්‍රමුඛ වරෙන්තුකරුවන් පස්දෙනා ගොනුකළ රීට් ආඥා පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති ඒ එච් එම් ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳ වූ අවස්ථාවේදීය. කුරුණෑගල නගර සභාවේ වැඩ අධිකාරී ඉලාලුඩීන් සුල්ෆිකා යන අයගේ හැර සෙසු පෙත්සම්කරුවන්ගේ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබු නීතිපතිවරයා ප්‍රමුඛ වගඋත්තරකරුවන්ට නිසි ලෙස නොතිසි ලැබී නොමැති බව අධිකරණය හමුවේදී අනාවරණය වීම නිසා වැඩ අධිකාරීවරයාගේ පෙත්සම හැර සෙසු පෙත්සම් 4 අද සලකා බැලුවේ නැත. වැඩ අධිකාරීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රියාස් අමීන් මහතා කරුණු දක්වමින් සඳහන් කළේ, එම ස්ථානය පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජුලි මස 24 වැනි දා ඉදිරිපත් කළ වාර්තාව අනුව පෙන්වා දී ඇති බවයි. එහෙත් එම ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති බවට සනාථ කළ හැකි විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව නීතිඥවරයා පෙන්වා දුන්නේ ය. කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් එම වරෙන්තුව නිකුත් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ කුමන වගන්තිය යටතේ ද යන්න නිසි ලෙස සටහන් කර නොමැති බැවින් එය ක්‍රියාත්මක කිරීම දෝෂ සහගත බව ද නීතිඥ අමීන් මහතා කියා සිටියේ ය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා පැවසුවේ, මෙම ගොඩනැගිල්ල පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වනවිටත් ගැසට්කර ඇති බැවින් වරෙන්තුකරුවන් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරව ප්‍රතික්ෂේප කරන ලෙසයි. ඒ අනුව එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන්නේ ද පෙත්සම්කරුවන් ඉල්ලා ඇති පරිදි වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේ ද යන තීරණය ලබන 24 වැනි දා නිකුත් කිරීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එතෙක් එම වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කරනු ලැබුවේ ය. කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී, වැඩ අධිකාරී ඉලාලුඩීන් සුල්ෆිකා සහ ඩොසර් යන්ත්‍ර ක්‍රියාකාරු ලක්ෂ්මන් ප්‍රියන්ත යන පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.