තරුණියක බේරා ගැනීමට ගඟට පැන්න තරුණයා මියයයි

UPDATE : තරුණියක බේරා ගැනීමට බොල්ගොඩ ගඟට පැන්න තරුණයාගේ සිරුර සොයා ගනී

by Staff writer 11-08-2020 | 3:14 PM
COLOMBO (News 1st) : පානදුර - බණ්ඩාරගම තුන්බෝධිය අසලින් බොල්ගොඩ ගඟට පැන්න තරුණියක බේරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයා දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. බණ්ඩාරගම තුන්බෝධිය අසලින් අද උදෑසන අදාළ තරුණිය බොල්ගොඩ ජලාශයට පැන තිබේ. තරිඳු පීරිස් නම් තරුණයා අදාළ තරුණිය බේරාගැනීමට ජලාශයට පැන ඇත්තේ ඉන් අනතුරුවයි ටික වේලාවකින් වඩාත් ගැඹුරු ස්ථානයක් වෙත ඔවුන් දෙදෙනා ඇදී ගොස් තිබේ. මේ අතර ප්‍රදේශවාසියෙක් ඔරුවක නැගී තරුණිය සිටි දෙසට ගොස් ඇයව බේරාගත්තේ ය. බේරා ගත් තරුණිය ඇතුළත් කෙරුණේ පානදුර මූලික රෝහලටයි. දියේ ගිලී අතුරුදන්වූ තරිඳු පීරිස්ගේ දේහය අද පස්වරුවේ සොයා ගැනීමට හැකිවූයේ දැඩි උත්සාහයකින් පසුවයි. සිද්ධියෙන් මියගිය 32 හැවිරිදි තරිඳු පීරිස් රයිගම ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකි. ---------------------------------------------------------------------------------------------------------------------------------------- COLOMBO (News 1st) :  බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසලින් ගඟට පැන්න තරුණියක බේරා ගැනීමට උත්සාහ කළ තරුණයෙකු අතුරුදන්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, දියේ ගිළුණු තරුණිය ප්‍රදේශවාසින් විසින් බෙරාගෙන රෝහල්ගත කර ඇති බවයි. අද උදෑසන 11 ට පමණ තරුණිය ගඟට පැන තිබේ. එය දුටු අසල සිටි තරුණයෙකු ඇය බේරාගැනීම සඳහා ගඟට පැන ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය. අතුරුදන්ව ඇත්තේ වැල්ලන්තුඩුව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවකි. පොලිස් හා නාවික කොට්ඨාසයේ නිලධාරීන් කැඳවා අතුරුදන් තරුණයා සොයා මේ වන විට මෙහෙයුමක් අරඹා තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/646818219519717/