කොළඹ වරාය නගරයේ පිරිසක් විරෝධතාවක

කොළඹ වරාය නගරයේ පිරිසක් විරෝධතාවක

by Staff writer 11-08-2020 | 9:14 PM
COLOMBO (News 1st) : කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ සේවයේ නියුතුව සිටි පිරිසක් අද යළිත් විරෝධතාවක නිරත විය. ඒ තමන් යළි සේවයේ පිහිටුවන්නැයි ඉල්ලමිනි. වරාය නගර ව්‍යාපෘතියේ සේවයේ නිරතව සිටි රියදුරන් , කම්කරුවන්, වැඩ පරීක්ෂකවරුන් ඇතුළු පිරිසක් අද පෙරවරුවේ මෙලෙස විරෝධය පළ කරමින් කියා සිටියේ ඉකුත් මාර්තු මස 20 වැනිදා සිට තමන් සේවයට කැඳවා නොමැති බවයි. ඔවුන් 2017 වසරේදී මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වෙමින් කටයුතු කළ තෙවසරකට වැඩි අත්දැකීම් සහිත පිරිසකි. වරාය නගරයේ උප කොන්ත්‍රාත් සමාගමකට අනුයුක්තව සේවය කරමින් සිටි මේ පිරිස පවසන්නේ මාස 5 කින් පමණ 150 කට ආසන්න පිරිසක් යළිත් සේවයට කැඳවා නොමැති බවයි. මේ අතර විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ, අදාළ ව්‍යාපෘතියේ සේවයේ නිරත පිරිස් වෙත පහසුකම් සැපයීම ද ප්‍රමාණත් නොමැති බවයි. සේවකයින් මීට පෙර කර තිබූ පැමිණිල්ලකට අදාළව ඒ පිළිබඳව සොයා බැලීමට කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු අද එහි පැමිණියේ විරෝධතාව අතරතුරයි. මේ අතර කම්කරු දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් ද විරෝධතාව පැවති ස්ථානයට පැමිණියේ ය.