ඥාණසාර හිමිගෙන් අනාවරණයක්

අපේ ජන බල පක්ෂයයේ ජාතික ලැයිස්තුවට මොකද වෙන්නේ?

by Staff writer 11-08-2020 | 7:28 PM
COLOMBO (News 1st) : පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන්ගේ මූලිකත්වයෙන් මැතිවරණයට ඉදිරිපත්වූ අපේ ජන බල පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට අයෙකු පත්කිරීමේ ගැටලුවට තවමත් විසඳුමක් ලැබී නෙමැත. මේ අර්බුදය නිර්මාණය වූයේ පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සැඟවී සිටින බවට පක්ෂයේ පිරිසක් ප්‍රකාශ කිරීමත් සමගයි. උන්වහන්සේ ධුරයෙන් ඉවත් කළ බව පාර්ශ්වයක් ඊයේ ප්‍රකාශ කළේ ය. සැඟව සිටින බවට චෝදනා එල්ල වන පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව නිව්ස් ෆස්ට් සමග දුරකතනයෙන් අදහස් පළ කළේ ය. මේ අතර අපේ ජන බල පක්ෂයේ නියෝජිත අරඹේපොල රතනසාර හිමියන් ඊයේ රාත්‍රි පාදුක්ක පොලිස් ස්ථානයට පැමිණියහ. අප වාර්තාකරු ප්‍රකාශ කළේ, පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් සඟවාගෙන සිටින බවට ලැබුණු තොරතුරක් මත පොලිස් භාරයට ගැණුනු පුද්ගලයෙකු රැගෙන යාම සඳහා උන්වහන්සේ එම ස්ථානයට පැමිණි බවයි. මේ අතර මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට අද විරෝධතාවයක් පැවැත්වුණේ අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පූජ්‍ය ගලගොඩ අත්තේ ඤාණසාර හිමියන්ට ලබාදෙන ලෙස ඉල්ලමිනි. විරෝධතාවය පැවැත්වෙන අතරතුර එම ස්ථානයට කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැමිණියේ ය.   https://www.facebook.com/NewsfirstSL/videos/367069637613901/