අගමැති අද සිය ධුරයේ වැඩ අරඹයි

අගමැති අද සිය ධුරයේ වැඩ අරඹයි

by Staff writer 11-08-2020 | 8:05 AM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතය.

ඒ, අරලියගහ මන්දිරයේදීය. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා පැවසුවේ, පෙරවරු 10.00 ට අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ රාජකාරි අරඹන බවයි. මෙරට 13 වැනි අග්‍රාමත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 09 වැනි දා දිවුරුම් දුන්නේ ය. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීයි. දිවුරුම් දීමේ උත්සවය පැවැත්වුණේ, කැලණිය රජමහා විහාරස්ථානයේදීය. මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයෙන් මනාප ඡන්ද 527,364 ක් ලබා ගත්තේ ය. ඒ, මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව සටහන් කරමිනි. මහින්ද රාජපක්ෂ මහතා දශක 5 කට අධික සිය දේශපාලන දිවියේ මීට පෙර තුන් වතාවක් අග්‍රාමත්‍ය ධුරය හොබවා ඇති අතර ඔහු මෙරට පස් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2005 සිට 2015 දක්වා කටයුතු කළේ ය.