රාජිත සහ රන්ජන් ඇතුළු 5 ක් ජනාධිපති කොමිසම හමුවට

රාජිත සහ රන්ජන් ඇතුළු 5 දෙනෙකු දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවට

by Staff writer 10-08-2020 | 10:38 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, රංජිත්  මද්දුමබණ්ඩාර, රන්ජන් රාමනායක, අජිත්. පි පෙරේරා සහ ඩී. එම් ස්වාමිනාදන් යන මහත්වරුන් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අද පෙනි සිටියහ.

ඒ , හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රියද් අද්මිරාල් ඩී.කේ.පී දසනායක මහතා කළ පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සඳහායි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය භාරව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර යන මහත්වරුන් ද අද කොමිසම හමුවේ පෙනි සිටියේ ය. යහපාලන ආණ්ඩු සමයේදී තමා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට මාරු කරනු ලැබුවේ දේශපාලන බලපෑම් මත බව රියර් අද්මිරාල් ඩී.කේ.පී දසනායක මහතා මීට පෙර ප්‍රකාශ කළේ ය. ඔහු සඳහන් කළේ, 2018 වසරේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති රැස්වීමකදී වගඋත්තරකාර අමාත්‍යවරුන් තමා එලෙස ස්ථාන මාරු කිරීමට උපදෙස්දී ඇතැයි දැන ගන්නට ලැබුණු බවයි. කොමිසම හමුවේ සක්ෂි ලබා දෙමින් රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනි සිටි නීතිඥ ගුණරත්න වන්නිනයක මහතා සඳහන් කළේ, සිය සේවාදායකයා එලෙස ස්ථාන මාරු කිරීමට උපදෙස් ලබා නොදුන් බවය. ඒ, හේතුවෙන් සාක්ෂි ලබාදීම අවශ්‍ය නොවන බව ඔහු ප්‍රකාශ කළේ ය. අජිත් පි පෙරේරා මහතා හරස් ප්‍රශ්න විමසමින් පැමිණිලිකාර ඩී.කේ.පී දසනායක මහතාගෙන් විමසා සිටියේ ස්ථානමාරු කිරීමට අනිසි බලපෑමක් සිදු වූ බව ඔබ දන්නේද යන්නයි. ඒ පිළිබඳ තමාට සෘජුව කරුණු වාර්තා නොවූ නමුත් වක්‍රව කරුණු වාර්තාවු බව දසනායක මහතා ප්‍රකාශ කළේ ය. අජිත් පී පෙරේරා මහතා කොමිසමට පෙන්වා දුන්නේ, එවකට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවි විජේගුණරත්න මහතා එම කාලයේ රටේ පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දසනායක මහතාගේ දක්ෂතාවය මත ඔහු අපදා කළමනාකරණ මධ්‍යස්ථානයට මරු කර යවා ඇති බවයි. එබැවින් පැමිණිලිකරුවන්ගේ සාක්ෂි පිටපත් අධ්‍යයනය කිරීමේදී සහ මෙතෙක් ඉදිරිපත්ව ඇති කරුණු අනුව තමා ඇතුළු පිරිස සිද්ධියට අදාළව වගඋත්තරකරුවන් ලෙස නම් කිරීමෙන් නිදහස් කරන්නැයි අජිත්.පී.පෙරේරා මහතා ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කළේ ය. මේ අතර සිද්ධියට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති දැනට බන්ධනාගාර ගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඉදිරි දිනයේදී ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කරන්නැයි එහි සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වරයාට නියෝග කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර සාක්ෂි විමසීම ලබන 19 වැනි දා සිදු කෙරෙනු ඇති. https://www.facebook.com/NewsfirstSL/videos/971988713242940/