තද සුළං සහිත කාලගුණයෙන් නිවාස රැසකට හානි..

තද සුළං සහිත කාලගුණයෙන් නිවාස රැසකට හානි..

by Staff writer 10-08-2020 | 10:25 AM

COLOMBO ( News 1st ) : දැඩි සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයින පුරා නිවාස 3360 කට හානි සිදුව ඇතැයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ සාවිත්‍රි ජයකොඩි මහත්මිය පැවසුවේ ඉන් නිවාස 28 කට පුර්ණ හානි සිදුව ඇති බවයි. පසුගිය 5 වැනිදා සිට දිවයිනේ දිස්ත්‍රික්ක 13 ක් ආශ්‍රිතව ඇතිවූ තද සුළං සහිත කාලගුණය හේතුවෙන් පවුල් 3,413 ක පුද්ගලයින් 13,186 දෙනෙකුට බලපෑම් එල්ලවී ඇති බව ද ඇය පැවසුවා ය. සහකාර අධ්‍යක්ෂවරිය සඳහන් කළේ, ඉන් වැඩිම බලපෑමක් රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි. රත්නපුර දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වන පූර්ණ නිවාස හානි සංඛ්‍යාව 15 කි. තවත් නිවාස 1337 කට අර්ධ හානි සිදුව තිබේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවාස 11 කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සහිත නිවාස සංඛ්‍යාව 90 ක්. සාවිත්‍රි ජයකොඩි මහත්මිය පැවසුවේ කොළඹ, මහනුවර, කළුතර, මාතලේ, නුවරඑළිය , හම්බන්තොට, ගාල්ල, ගම්පහ, ත්‍රීකුණාමලය හා කෑගල්ල යන දිස්ත්‍රික්කවලින්ද නිවාස හානි වාර්තාවී ඇති බවයි. හානිවූ නිවාස සඳහා අත්තිකාරම් වන්දි මුදල් ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබේ. ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ සාවිත්‍රි ජයකොඩි මහත්මිය පැවසුවේ එම දිස්ත්‍රික 15 ආවරණය කරමින් තක්සේරු කණ්ඩායම් නිවාස හානි තක්සේරු සඳහා අනුයුක්ත කර ඇති බවයි.