ලොව පුරා Covid-19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි2 ඉක්මවයි

ලොව පුරා Covid-19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 2 ඉක්මවයි..

by Staff writer 10-08-2020 | 12:40 PM

COLOMBO ( News 1st ) : ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 2 ඉක්මවා ගියේ ය.

ඒ , පසුගිය පැය 24 තුළ නව ආසාදිතයින් දෙලක්ෂ විසි දහසකට අධික සංඛ්‍යාවක් හඳුනා ගැනීමත් සමගිනි. ඒ අනුව මෙතෙක් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ දෙකෝටි 25784 ක් ලෙස ය. චීනයෙන් ප්‍රථම Covid-19 ආසාදිතයා හඳුනා ගැනීමෙන් පසු පළමු වරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කෝටිය ඉක්මවූවේ පසුගිය ජුනි 28 වැනිදා ය. ඒ අනුව පසුගිය දින 43 ඇතුළත කොරෝනා ආසාදිතයින් කෝටියක් හඳුනා ගැනීමත් සමග කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මෙලෙස දෙකෝටිය ඉක්මවා ගියේ ය. මේ වනවිටත් වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙනි. එරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පනස් එක්ලක්ෂ 99,444ක් ය. වාර්තා වන මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 65,617 ක් දක්වා ඉහළ ගියේ ය. කොරෝනා වසංගතයෙන් වැඩිම බලපෑම් සහිත රටවල් ලැයිස්තුවේ දෙවන තැන පසුවන බ්‍රසීලයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තිස්ලක්ෂ 35,582 කි. එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 1,136 ක් ලෙස සටහන් වේ. එම රටවල් ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ පසුවන්නේ අසල්වැසි ඉන්දියාවයි. එරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව විසි දෙලක්ෂ 14,137 ක් වන අතර ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 44,466 කි. ලොව පුරා වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව හත්ලක්ෂ 34,012 කි. මේ වනවිට වෛරසය ආසාදනයෙන් ලොව පුරා පුද්ගලයින් එක්කෝටි විසිනව ලක්ෂයක් පමණ සුවය ලබා ඇතැයි නවතම වාර්තා පෙන්වා දෙයි.