කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට යළි වරෙන්තු

කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගැනීමට යළි වරෙන්තු

by Staff writer 10-08-2020 | 1:29 PM

COLOMBO ( News 1st ) : පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දේපොළ විනාශ කිරීමේ චෝදනාමත අත්අඩංගුවට ගන්නැයි නියෝග ලැබ සිටින කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනා අදත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැත.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා නියෝග කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 7 වැනි දා නිකුත් කළ වරෙන්තු නියෝගය කොට්ඨාසභාර පොලිස් අධිකාරිවරයා සහ වැඩ බලන පොලිස්පතිවරයා මගින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසයි. සැකකරුවන් 5 දෙනාට විදේශගත වීම වළක්වමින් අද අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ඔවුන්ට අධිකරණය මගහැර සැඟවී සිටිමට රැකවරණය ලබාදී ඇති පුද්ගලයින් පිළිබඳව ද විශේෂ විමර්ශනයක් සිදු කරන ලෙසයි. කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ නැමැත්තාගේ ශරීරයේ කෙස් ගසකටත් අත තැබීමට කිසි වෙකුටත් ඉඩ නොතබන බවට පසුගිය මහ මැතිවරණ සමයේදී දේශපාලාඥයෙකු කළ ප්‍රකාශය පිළිබඳව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ අවධානය යොමු කර තිබේ. ඔහු කියා සිටියේ, එම ප්‍රකාශය හා සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම අතර යම් සබඳතාවක් ඇති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසයි. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසට නිලධාරීන්ට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රගතිය ලබන 13 වැනි දා අධිකරණයට වාර්තා කරන ලෙස ද දැනුම් දුන්නේ ය. මේ අතර නගරාධිපති තුෂාර සංජීව මහතාට සහය පළකරමින් පිරිසක් අද කුරුණෑගල ඔරලෝසු කණුව ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත විය. කුරුණෑගල පුරා වස්තු විනාශයට අදට දින 27 ක්... විනාශයට වගකිව යුත්තන් තවමත් නිදැල්ලේ.... https://www.facebook.com/NewsfirstSL/videos/689387261617361/