අභිනව අගමැතිගේ දේශපාලන දිවිය ගැන කෙටි සටහනක්..

සිව්වැනි වරටත් අගමැති වූ මහින්ද රාජපක්ෂගේ දේශපාලන දිවිය ගැන කෙටි සටහනක්..

by Chathurika Jayasundara 09-08-2020 | 3:29 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මෙරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. ඒ, ඓතිහාසික කැලණිය පුද බිමේදී ය. සිව්වැනි වරටත් අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා 2005 සිට 2015 දක්වා දෙවතාවක් මෙරට විධායක ජනාධිපති ධුරය හෙබවිය. මහින්ද රාජපක්ෂ මහතා 50 වසරක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන දැවැන්ත දේශපාලන චරිතයකි. 1970 වසරේ පාර්ලිමේන්තුවට පිවිසි මහින්ද රාජපක්ෂ මහතා 1995 වසරේ සිට 2004 දක්වා කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සුවිශාල කාර්ය භාරයක් ඉටු කළේය. 2004 අප්‍රේල් මස 06 වැනිදා පළමු වරට අග්‍රාමාත්‍ය ධූරයට පත් වූ එතුමා 2018 ඔක්තෝබර් 26 වැනිදා දෙවැනි වරටත්, 2019 නොවැම්බර් මස 21 වැනිදා තෙවැනි වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ ය. වසර 10ක කාලයක් විධායක ජනාධිපති ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ මහතා 30 වසරක පමණ කාලයක් පැවති ත්‍රස්තවාදය මුලිනුපුටා දමා වේගවත් සංවර්ධනයකට රට රැගෙන යාමටත් සමත් විය. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහ මැතිවරණයට තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මනාප 527,364ක් ලබා ගනිමින් මැතිවරණයකදී අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව ගෙන ඉතිහාසයට එක් විය. විධායක ජනාධිපති ධූරයේ දෙවරක් සේවය කොට අග්‍රමාත්‍ය ධූරයට සිව් වතාවක් පත්වූ පළමුවැන්නා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතිහාසයට එක් වෙයි. මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර නව අග්‍රාමාත්‍යවරයා වෙත ආශිර්වාද පළ කළ අතර දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූහ. අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම්දීමේ උත්සවයෙන් පසු ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා අවට රැස්ව සිටි ජනතාව වෙත ගොස් ඔවුනට සිය ආචාරය පුද කළ හ. මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරු, ආණ්ඩුකාරවරු, ජනාධිපති ලේකම්, තානාපතිවරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ හා නව රජයට සහාය පළ කරන නව මන්ත්‍රීවරු සහ පවුලේ ඥාතීහූ ඇතුළු පිරීසක් මේ අවස්ථාවට එක්ව සිටිය හ. https://www.facebook.com/NewsfirstSL/videos/659975901585183/   https://www.youtube.com/watch?v=6hSl6U7PCx0 ඡායාරූප - අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය