මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස දිවුරුම් දෙයි

by Staff writer 09-08-2020 | 9:29 AM

COLOMBO (News 1st) - මෙරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේ ය.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීය. දිවුරුම් දීමේ උත්සවය කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්විය. දිවුරුම් දීමට පෙර කැලණිය රජමහා විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කළේය. අනතුරුව අග්‍රාමාත්‍යවරයා පෙරවරු 9.28 ට යෙදුණු සුබ මොහොතින් දිවුරුම් දුන්නේය. දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා විහාර මන්දිරයට ගොස් ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව නව අග්‍රාමාත්‍යවරයා අවට රැස්ව සිටි ජනතාව සමග ද සුහද කතාබහක ද නිරත විය. මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කර මනාප ඡන්ද 527,364 ක් ලබා ගත්තේය. ඒ, මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව සටහන් කරමිනි.