මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස අද දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ නව අගමැති ලෙස කැලණි පුදබිමේදී අද දිවුරුම් දෙයි

by Staff writer 09-08-2020 | 7:15 AM

COLOMBO (News 1st) - මෙරට 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දිවුරුම් දීමට නියමිතය.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීයි. දිවුරුම් දීමේ උත්සවය කැලණිය රජමහා විහාරස්ථානයේදී අද උදෑසන 8.30 ට ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ආගමික පූජකවරුන් මෙන්ම විදේශීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් ද සහභාගි වනු ඇති. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ, උත්සවයට මෙවර මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තේරීපත් වූ සියලු මන්ත්‍රීවරුන් ද සහභාගි වීමට නියමිත බවයි. මහින්ද රාජපක්ෂ මහතා මෙවර මහ මැතිවරණයෙන් මනාප ඡන්ද 527,364 ක් ලබා ගත්තේ ය. ඒ, මෙරට පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලබා ගත් වැඩිම මනාප සංඛ්‍යාව සටහන් කරමිනි. මහින්ද රාජපක්ෂ මහතා දශක 5 කට අධික සිය දේශපාලන දිවියේ මීට පෙර තුන් වතාවක් අග්‍රාමත්‍ය ධුරය හොබවා ඇති අතර ඔහු මෙරට පස් වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2005 සිට 2015 දක්වා කටයුතු කළේ ය.