අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරය වෙනුවෙන් මත ගැටුමක්

අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් මත ගැටුමක්

by Staff writer 09-08-2020 | 2:09 PM

COLOMBO (News 1st) - අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවට පැමිණ නොමැත.

එම පක්ෂයේ මහ ලේකම් පුජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පැවසුවේ, මන්ත්‍රී ධුරයට තම නම යෝජනා වී ඇති බවය. මේ අතර එම පක්ෂයේ අනුශාසක පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අද පස්වරුවේ තව ත් සාකච්ඡාවක් පැවැත්වෙන බවය. මහ මැතිවරණයෙන් තේරීපත් වූ අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, එක් එක් දේශපාලන පක්ෂවලින් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනෙකුගේ නම් එලෙස ගැසට් කළ බවය. දේශපාලන පක්ෂවල ජාතික ලයිස්තු මන්ත්‍රි ධුර පසුව ගැසට් කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය. මේ වනවිට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 17 ට සුදුස්සන් නම් කර මැතිවරණ කොමිසමට භාර දී තිබේ. සෙසු දේශපාලන පක්ෂවල ජාතික ලයිස්තු මෙතෙක් භාර දී නොමැති බව මැතිවරණ කොමිසම පැවසීය.