කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන 11න් පසු

කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ලබන 11න් පසු

by Staff writer 08-08-2020 | 3:02 PM
COLOMBO (News 1st) : නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම, ජාතික ලැයිස්තුව ගැසට් කිරිමෙන් අනතුරුව සිදු කිරිමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසයි. එහි ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, ලබන 11 වැනිදායින් පසු නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම සිදු වනු ඇති බවයි. ජාතික ලැයිස්තු නාම ලේඛන ඉදිරි දින 7 ඇතුළත ලබා දෙන්නැයි, ජාතික මැතිවරණ කොමිෂන් සභාව පක්ෂ ලේකම්වරුන්ට දැනුම් දුන්නේ ය. මෙවර මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 17 කි. සමගි ජන බල වේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සංඛ්‍යාව 7 කි. ජාතික ජන බල වේගය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, අහිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය , අපේ ජනබල පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය බැගින් හිමිවිය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ලැයිස්තු මන්ත්‍රිවරුන්ගේ නාම ලේඛනය ඊයේ මැතිවරණ කොමිසමට භාර දුන්නේ ය. සමගි ජන බලවේගය සඳහන් කළේ, සිය ජාතික ලැයිස්තු නාමාවලිය මෙතෙක් සකස් කර අවසන්වී නොමැති බවයි. එක්සත් ජාතික පක්ෂයද ජාතික ලැයිස් මන්ත්‍රිධුරය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා ප්‍රකාශ කළේ ය. මේ අතර 9 වැනි පාර්ලිමේන්තුවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා, හෙට දිව්රුම් දෙයි. ඒ, පෙරවරු 8. 30 ට කැලණිය රජමහා විහාරස්ථානයේදීයී.