පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක්

2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක්

by Staff writer 07-08-2020 | 7:50 AM

COLOMBO (News 1st) : 2020 මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයක් ලැබුවේ ය.

ඒ ආසන මන්ත්‍රී ධුර 145 ක් හිමිකර ගනිමින් ය. ඊට ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රී ධූර 17 ක්ද ඇතුළත් ය. මුලු දිවයිනෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව හැට අට ලක්ෂ 53693 කි. එය ප්‍රතිශතයක් ලෙස 59.89 % කි. සමගි ජන බලවේගය ඡන්ද විසි හත් ලක්ෂ 71,984 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධුර 54 ක් හිමි කර ගත්තේ ය. එම පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් හිමිවූ මන්ත්‍රී ධූර ගණන 07කි. සමගි ජන බලවේගය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 23.90 %ක් වේ. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය මහ මැතිවරණයෙන් ඡන්ද තුන් ලක්ෂ 27168 ක් ලබා ගත්තේ ය. එය ප්‍රතිශතයක් ලෙස 2.82 % ක් වේ. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ද සමගින් හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 10 කි. ජාතික ජන බලවේගය ඡන්ද හාර ලක්ෂ 45958 ක් ලබා ගනිමින් මන්ත්‍රී ධූර 03ක් හිමිකර ගත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක්ද සමග ය. එම පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 3.84 % ක් වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මන්ත්‍රී ධුරයක් හිමි කර ගත්තේ ඡන්ද 66579 ක් ලබා ගනිමින් ය. කෙසේ වෙතත් නිදහසින් පසු දශක 4 කට අධික කාලයක් මෙරට පාලන බලය හෙබවූ එක්සත් ජාතික පක්ෂයට මෙවර මැතිවරණයෙන් කිසිදු මන්ත්‍රී ආසනයක් හිමිකර ගැනීමට හැකි වූයේ නැහැ. ඔවුන් මුලු දිවයිනෙන්ම ලබාගත් ඡන්ද සංඛ්‍යාව දෙලක්ෂ 49435 කි. එය ප්‍රතිශතයක් ලෙස 2.15% ක අගයක පවතී. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා පක්ෂයේ උප නායක රවී කරුණානායක යන මහත්වරුන් කොළඹ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග වැදුණු අතර ඔවුන්ට සිය මන්ත්‍රී අසුන් රැක ගැනීමට හැකිවූයේ නැහැ. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවිය. අහිල ඉලංගෙයි තමිල් කොංග්‍රසයට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක්ද සමග හිමිවූ මන්ත්‍රි ධුර සංඛ්‍යාව 2කි. EPDP පක්ෂයට මන්ත්‍රී ධුර දෙකක් හිමි විය. ඔවුන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 61464 කි. මෙවර ප්‍රථම වරට මැතිවරණයට තරග කළ අපේ ජනබල පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වූ අතර එම පක්ෂය ඡන්ද 67,758 ක් ලබා ගත්තේ ය. තමිල් මක්කල් විඩුදලෙයි පුලිහල් පක්ෂය එක් මන්ත්‍රී ධූරයක් හිමි කර ගත්තේ ය. ඒ, ඡන්ද 67692 ක් ලබා ගනිමින් ය. මීට අමතරව මුස්ලිම් ජාතික සන්ධානය, තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂය, සමස්ත ලංකා මහජන කොංගස්‍රය, ජාතික කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ එක් මන්ත්‍රී ධූරය බැගින් හිමිකර ගත්තේ ය. හම්බන්තොට, ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, බදුල්ල, නුවරඑළිය හා , පුත්තලම, දිස්ත්‍රික්කවල සියලු මැතිවරණ බල ප්‍රදේශ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජය ගත්තේ ය. මහ මැතිවරණය 2020 - දිවයිනේ සමස්ත ඡන්ද ප්‍රතිඵල