ජනපතිගෙන් විශේෂ පණිවුඩයක්..

සෞභාග්‍යයේ දැක්ම බලගැන්වීමට පාර්ලිමේන්තුවක් සෑදීමේ අපේක්ෂාව සාක්ෂාත් වුණා - ජනපති

by Staff writer 07-08-2020 | 8:11 AM

COLOMBO (News 1st) : ප්‍රකාශිත නිල ඡන්ද ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ය. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය බලගැන්වීමට අවශ්‍ය පාර්ලිමේන්තුවක් සෑදීමේ බලාපොරොත්තුව අද දිනයේ සාක්ෂාත් කරගත හැකි බව තමාගේ විශ්වාසය යැයිද ජනාධිපතිතුමා එහි සඳහන් කර තිබේ. මේ අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් ලබාදුන් සුභ පැතීමේ දුරකතන පණිවුඩයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ස්තූතිවන්ත වන බවයි. ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ලද ශක්තිමත් සහයෝගයත් සමගින් දෙරට අතර දීර්ඝ කාලීන සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය මෝදි මහතා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය. මේ අතර මැතිවරණ ජයග්‍රහණයට සුබ පැතීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් සෝලි මහතාට හා උප ජනාධිපති ෆයිසාර් නසීම් මහතාට ස්තූතිය පළ කළේ ය. ශ්‍රී ලංකාවට හා මාලදිවයිනට බලපාන අන්‍යෝන්‍ය අභිලාශයන් සම්බන්ධ කටයුතුවලදී සමීපව ක්‍රියා කිරීමට බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා පවසයි.