රිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේපයි

රිෂාඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

by Staff writer 07-08-2020 | 2:44 PM

COLOMBO (News 1st):  අප්‍රේල් 21 ප්‍රහාර සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් තමා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සහය වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, බුනනෙක අළුවිහාරේ, එල්. ටී. බී. දෙහිදෙණිය සහ එස්. තුරෙයිරාජා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් 100 කට අධික සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මෙරින් පුල්ලේ මහතා එහිදී ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගන්නේ නම් එය සිදු කරන්නේ ඔහුට එරෙහිව ඉදිරිපත් වන සාක්ෂි මත පදනම්ව නීත්‍යානුකූල ආකාරයෙන් පමණක් බවයි. විශාල පිරිසකට තුවාල සිදු කර තව ත් විශාල පිරිසක් මරණයට පත් කළ එම බෝම්බ ප්‍රහාර මාලාවට අදාළ විමර්ශන, සංකීර්ණ වන්නේ යැයි ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ ය. ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ, පෙත්සම්කරු වැනි එක් එක් පුද්ගලයින් අධිකරණය හමුවට පැමිණ අත්අඩංගුවට ගැනීම වළක්වන තහනම් නියෝග ඉල්ලීම ඉදිරි විමර්ශනවලට බාධාවක් බවයි. එම කරුණු මත පදනම්ව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධාතාව පිළිගත් විනිසුරු මඩුල්ල, රිෂාඩ් බද්යුදීන් මහතාගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර දීමකින් තොරවම ප්‍රතික්ෂේප කර තිබේ.