මැතිවරණ පරාජයෙන් පසු එජාපය හදිසි සාකච්ඡාවක්

මැතිවරණ පරාජයෙන් පසු එජාපය හදිසි සාකච්ඡාවක්..

by Staff writer 07-08-2020 | 9:18 PM

COLOMBO (News 1st) - මැතිවරණ පරාජයෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අද සිරිකොත පක්ෂ  මූලස්ථානයේදී හමුවී සාකච්ජාවක නිරත විය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවට පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, වජිර අබේවර්ධන, ආශු මාරසිංහ, රවී කරුණනායක, රුවන් විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මාධ්‍යවේදී ප්‍රශ්නය,
මන්ත්‍රිතුමා මොකක්ද අද සාකච්ඡාව ?
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා,
මැතිවරණ ප්‍රතිඵලවලින් පස්සේ මීළඟ පියවර ගන්නේ කොහොමද කියන එක ගැන තමයි සාකච්ඡා කරේ. බලාපොරොත්තු වෙනවා සඳුදාට නැවත රැස්වෙලා නැවත තීන්දු තීරණ ගන්න.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
නායකත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී තීරණයක් ගන්නවා ද?
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා,
නෑ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධ තීරණ අපේ සාකච්ඡාවල ගන්න තත්ත්වයක් නැනේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ජාතික ලැයිස්තුවේ මන්ත්‍රිධුර සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා ද?
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා,
ඒකත් සඳුදායින් පස්සේ තීරණය කරනවා. ඒක පක්ෂය තීරණය කරන්න ඕන
මාධ්‍යවේදී ප්‍රශ්නය,
දැන් මේ 0% ට වැටිච්ච පක්ෂය ගොඩගන්නේ කොහොම ද?
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා,
පරාජය කියන්නේ ජයග්‍රහණයේ මාවතක්. ඒකට එක්සත් ජාතික පක්ෂය නැවත සම්පුර්ණයෙන් සංවිධානය වෙලා ඒකට මුහුණ දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී දයා ගමගේ, සාකච්ඡාව අපේ පක්ෂයේ ප්‍රතිසංස්කරණය කරලා ඉදිරියට යන්න තීරණය කලා.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
දැන් ඔබතුමන්ලා 0% ට වැටිච්ච පක්ෂයනේ
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී දයා ගමගේ,
කමක් නෑ ඉතිං අපි 0 ඉඳන් අපි පක්ෂය ගොඩගන්නවා. ගොඩ අරගෙන ඉදිරියට ගෙනියනවා. එච්චරයි.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
කොහොමද ගොඩගන්නේ ඔබතුමන්ලා?
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී දයා ගමගේ,
ඒක ඉතිං අපිනේ කරන්නේ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ඒ කියන්නේ ගොඩගන්නේ කාත් එක්ක ද? රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක ද?
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී දයා ගමගේ,
ඒක බලමු...
මාධ්‍යවේදී ප්‍රශ්නය,
පරාජයට හේතුව පොඩ්ඩක් කියලා යන්නකෝ? නායකයාට අයින් වෙන්න කියලා කිව්වේ නැද්ද? නැගිටලා කිව්වේ නැද්ද?
මාධ්‍යවේදී ප්‍රශ්නය,
ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ලබාදීම සම්බන්ධයෙන් තීරණයක් ගත්ත ද?
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී මහචාර්ය අශු මාරසිංහ,
සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය දන්නවානේ ජාතික ලැයිස්තුවට හැමදාම පරාජිත අය දැම්මේ නෑ.
මාධ්‍යවේදී ප්‍රශ්නය,
රනිල් වික්‍රමසිංහ මහත්තයාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රි ධුර
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක කිත්සිරි මංචනායක,
නෑ... නෑ.. එතුමාට නෑ..
මාධ්‍යවේදී ප්‍රශ්නය,
අද පැහැදිලිවම කිව්ව ද?
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක කිත්සිරි මංචනායක,
පැහැදිලිව කියලා තියෙන්නේ.
මේ අතර පක්ෂයේ ඉදිරිපෙළ නායකයින් කිහිපදෙනකු මාධ්‍යට අදහස් පළ කිරීමෙන් තොරව පිටත්ව ගියේය. අනතුරුව සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටි සමගි ජන බලවේගයෙන් කොළඔ දිස්ත්‍රික්කයට තරග කළ නීතිඥ අතුල රණගල මහතා ද මේ පිළිබඳව අදහස් පළ කළේ ය. සිය පාලන කාලය තුළ රටටත් ජනතාවටත් බොහෝ දේ ඉටුකළ ද එක්සත් ජාතික පක්ෂය විශාල පරාජයක් ලබා ඇතැයි එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පක්ෂයක් ලෙස අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින් පැමිණි අභියෝගවලට මුහුණ දුන් බවය. එමෙන්ම තමන්ගේ මෙන්ම අනෙක් අයගේ අසාර්ථකවීම්වල මෙන්ම අඩුපාඩුවලද වගකීම භාර ගත් බව ද එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙයි. එම පක්ෂය පවසන්නේ මෙම මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන පක්ෂ අභිබවා යන්නට දේශපාලන ව්‍යාපාර සමත්ව ඇති බැවින් ඉදිරියේදී රටේ අවුල් සහගත දේශපාලන තත්ත්වයක් ඇතිවීමට ඉඩ ඇති බවය. මින් පෙර අවස්ථාවලදී කළ පරිදි එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය හා ප්‍රතිව්‍යුහගත කර නව ජවයකින් හා ශක්තියකින් ඉදිරියට යන්නට කටයුතු කරන බව ද එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. එක්සත් ජාතික පක්ෂය පවසන්නේ අසීරු අවස්ථාවේදී පක්ෂය සමග තවදුරටත් රැඳී සිටි සියලු පාක්ෂිකයින්ට පක්ෂයේ ගෞරවනීය කෘතවේදීත්වය පළ කරන බවයි. එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණය සාර්ථක අන්දමින් පැවැත්වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂය ජාතික මැතිවරණ කොමිසමට කෘතවේදීත්වය පළ කරයි. එම පක්ෂය අවධාරණය කරන්නේ සාධාරණ හා සාමකාමී ලෙස මැතිවරණය පැවැත්වීම තහවුරු කරන ලද්දේ තම ආණ්ඩුව හඳුන්වාදුන් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බවය. https://www.facebook.com/NewsfirstSL/videos/299199188081437/