කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි, වරෙන්තු

පුරාවිද්‍යා ස්ථානයක් විනාශ කළැයි කුරුණෑගල නගරාධිපති ඇතුළු 5 දෙනෙකුට වරෙන්තු

by Staff writer 07-08-2020 | 4:23 PM

COLOMBO (News 1st) : කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විතාරණ, නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අධිකාරී යන මහත්වරුන් ඇතුළු පස්දෙනෙකු වහාම අධිකරණය ඉදිරිපත් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, පෞරාණික වටිනාකමක් සහිත කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි දෙවන බුවනෙකබාහු රජතුමන් විසින් පරිහරණය කළ බවට සැලකෙන රාජසභා මණ්ඩපය පැවති ස්ථානයේ ඉදිකිරීම් ඩෝසර් කර කඩා බිඳ දැමීමට වගකිවයුතු බවට චෝදනා එල්ල කරමිනි. වරෙන්තු කරනු ලැබු අනෙක් පුද්ගලයින් වන්නේ, වැඩ අධිකාරී ඉලාලුඩීන් සුල්ෆිකාර් සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියන්ත යන පුද්ගලයින් දෙදෙනාය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ මාධව තෙන්නකෝන් යන මහත්වරුන් දීර්ඝ ලෙස කරුණු දක්වමින් කළ ඉල්ලීම සලකා බැලු කුරණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා එම පුද්ගයින්ට එරෙහි වරෙන්තු නිකුත් කරනු ලැබුවේ ය. එම වරෙන්තු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලබන 10 වැනි දා තම අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන නිලධාරීන්ට නියෝග කරනු ලැබුවේ ය.