අංගොඩ ලොක්කා ගැන පුළුල් විමර්ශනයක්

අංගොඩ ලොක්කා ගැන පුළුල් විමර්ශනයක්

by Staff writer 07-08-2020 | 9:51 PM
COLOMBO (News 1st) : ඉන්දියානු පර්යේෂණ හා විශ්ලේෂණ කාර්යාංශය හෙවත් රෝ සංවිධානයේ නිලධාරීන් පිරිසක් තමිල්නාඩු ප්‍රාන්තයේ අපරාධ අංශය සමග අංගොඩ ලොක්කා නමැති පාතාල නායකයා සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවට ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර තිබේ. එහි දැක්වෙන්නේ අංගොඩ ලොක්කා සම්බන්ධයෙන් බොහෝ තොරතුරු රෝ නිලධාරීන් ලබා ගෙන ඇති බවයි. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට අනුව තමිල්නාඩු පොලිසියේ අපරාධ අංශය විසින් මේ වනවිට පැති කිහිපයක් ඔස්සේ සැකකටයුතු අංගොඩ ලොක්කා හෙවත් ප්‍රදීප් සිං නමැත්තා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර අපරාධ සම්බන්ධතා ද එම විමර්ශනයට ඇතුළත් ය. පසුගිය ජූලි තුන්වැනිදා කොයිම්බතූර් නගරයේදී හෘදයාබාධයක් හේතුවෙන් සැක කටයුතු ලෙස ප්‍රදීප් සිං නමැත්තා මියයාම සම්බන්ධයෙන් මේ වන විට මෙරටින් ඉන්දියාවට ගිය කාන්තාවක්, එරට නීතිඥවරයෙකු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය වාර්තා අනුව සිවගාමී සුන්දරී නමැති නීතිඥවරියගේ බැංකු ගිණුම් 7 කට ඉන්දීය රුපියල් ලක්ෂ 50 ත් 100 ත් අතර මුදලක් හුවමාරු වී ඇතැයි සඳහන් ය. මෙම කාන්තාවගේ පියා LTTE සංවිධානයට සහය පළ කරන පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු ද අත්අඩංගුවට ගෙන තිබේ. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පතට අනුව විමර්ශන නිලධාරීන් මේ වන විට අංගාඩ ලොක්කා LTTE සංවිධානය සමගත්, තමිල්නාඩුවේ මෙන්ම වෙනත් ඉන්දීය ප්‍රාන්තවල ක්‍රියාත්මක අපරාධ සංවිධාන සමගත් ගනුදෙනු කර ඇත්දැයි, විමර්ශනය කරන බව සඳහන් ය. ප්‍රදීප් සිං හෙවත් අංගොඩ ලොක්කා නමැත්තාගේ අදාහනය කරන ලද සිරුරේ කොටස් මේ වන විට DNA පරීක්ෂණ සඳහා යවා ඇති බවත් එම වාර්තා දින 4කින් ලැබීමට නියමිත බවත් ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත් වාර්තාවේ සඳහන් ය. මීට අමතරව මේ වසරේ ජනවාරි මාසයේදී ප්‍රදීප් සිං හෙවත් අංගොඩ ලොක්කාට ප්ලාස්ටික් සැත්කමක් සිදු කර ඇති බවත්, එම පුද්ගලයාට තම මුහුණ සම්පූර්ණයෙන් වෙනස් කිරීමට අවශ්‍ය වූ බවත්, රහස් මූලාශ්‍රයක් උපුටා දක්වන ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත පවසයි.