ලෙබනනයේ පිපිරීමෙන් මිය ගිය පිරිස 70 ඉක්මවයි

ලෙබනනයේ පිපිරීමෙන් මිය ගිය පිරිස 70 ඉක්මවයි

by Staff writer 05-08-2020 | 8:54 AM

COLOMBO ( News 1st ) : ලෙබනනයේ බීරූට් අගනුවර වරායේ ගබඩාවක සිදු වූ පිපිරීමෙන් මිය ගිය පිරිස 70 ඉක්මවා තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ 4000කට අධික පිරිසක් ඉන් තුවාල ලබා ඇති බවයි. ලෙබනනයේ බීරූට් අගනුවර වරායේ ගබඩාවක 2014 වසරේ සිට ඇමෝනියම් නයිට්රේට් ගබඩා කර තිබී ඇතැයි වාර්තා වේ. විදෙස් වාර්තා පවසන්නේ, එම ගබඩාවේ ඇමෝනියම් නයිට්රේට් ටොන් 2,750 ක් ගබඩා කර තිබූ බවයි. මෙම ඇමෝනියම් නයිට්රේට් තොගය රාජසන්තක කර තිබූ ඒවා බවට අල්ජසීරා පුවත් සේවය වාර්තා කළේ ය. පිපිරීමෙන් අනතුරුව ඇති වූ දුමාරයෙන් බොහෝ දෙනෙකු පීඩාවට පත් විය. විදෙස් වාර්තා පවසන්නේ පිපිරීම සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර 240ක දුරකින් පිහිටි ප්‍රදේශවලට පවා එහි ශබ්දය ඇසී ඇති බවයි. මේ අතර පිපිරීමෙන් මිය ගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවට විදෙස් වාර්තා පෙන්වා දෙයි. සුන්බුන්වලට සිර වූ පිරිස සොයා තවදුටත් පරීක්ෂණ ක්‍රියාත්මක වේ. මේ අතර වසර 6ක කාලයක් ගබඩාවක් තුළ ඇමෝනියම් නයිට්රේට් ගබඩාකර තිබූ ආකාරය පිළිබඳව එරට ජනාධිපති මයිකල් අවුන්ගේ දෝෂ දර්ශනය ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. හදිසි කැබිනට් රැස්වීමක් කැඳවූ ඔහු කියා සිටියේ සති 2ක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බවයි. මේ අතර පිපිරීම නිසා විශාල ව්‍යසනයක් සිදුව ඇතැයි සහන සේවාවල නිරත රතු කුරුස සංවිධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය. පිපිරීමෙන් අනතුරුව හටගත් ගින්න පාලනය කිරීම සඳහා හෙලිකොප්ටර් යොදා ගැනීමට සිදු විය. මේ අතර විෂ වායු මගින් සිදුවිය හැකි හානි අවම කිරීමට බීරූට් අගනුවර වැසියන්ට මුව ආවරණ පැළැඳ නිවෙස්වලටම වී සිටින ලෙසට රජය උපදෙස් ලබා ඇතැයි සඳහන් ය. ලෙබනන් හිටපු අග්‍රාමාත්‍ය රෆීක් අල් හරිරී ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකුගේ ඝාතනයට අදාළව ෂියා මුස්ලිම් කණ්ඩායමක් වන හිස්බුල්ලාහි සැකකරුවන් සිව්දෙනෙකුට එරෙහිව පවත්වන නඩු විභාගයේ තීන්දුවක් ලබා දීමට දින 3ක් තිබියදී මෙම පිපිරීම සිදුවීම දෙස් විදෙස් මාධ්‍යවල අවදානයට ලක්ව තිබේ. මෙම පිපිරීම සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් මානුෂීය හා වෛද්‍ය ආධාර ලබාදීමට තම රට සූදානම් බවත් ඊශ්‍රායලය පැවසුවේ ය. මේ අතර අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක්ද ලෙබනනයට සහය පතා ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් ය.