ඡන්ද විමසීම අතර සිදු වූ සුවිශේෂ සිදුවීම්...

ඡන්ද විමසීම අතර සිදු වූ සුවිශේෂ සිදුවීම්...

by Staff writer 05-08-2020 | 8:15 PM

COLOMBO (News 1st) - කිසියම් පිරිසක් ඊයේ රාත්‍රී තමා පැහැරගත් බව කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික මාවතගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සනත් මීගොල්ල මහතා කුරුණෑගල මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

ඔහු පවසන්නේ, මාවතගම සිට මීගොල්ලේ පිහිටි තම මහතාගේ නිවසට යමින් සිටියදී වාහන දෙකක් මග හරස් කර තමා පැහැරගෙන ගොස් පහරදුන් බවය. පසුව තමා ඔවුන්ගෙන් බේරී පැමිණි බව ද ඔහු සඳහන් කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, හිටපු සභාපතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් කුරුණෑගල පොලීසිය අසළට රැස්වීම නිසා ඒ අවට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබූ බවයි. හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා ද එහි පැමිණ සිටියේ ය. තව ද ඡන්දය සලකුණු කළ පත්‍රිකාව සිය ජංගම දුරකතනයෙන් වීඩියෝගත කළ තරුණයෙකු අද පෙරවරුවේ නාවලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ය. අද උදෑසන නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාල ජන්ද මධ්‍යස්ථානයෙදී ජන්දය සලකුණු කළ ඔහු එය තම ජංගම දුරකතනයෙන් ඡායාරූපගත කරන අවස්ථාවේදී ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරයා එය දැක පොලීසියට දැනුම් දී තිබුණි. මීට අමතරව පානදුර දකුණ, වලව්වත්ත ශ්‍රී සුදර්ශනාරාම ජන්ද මධ්‍යස්ථානය අසළදී පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනුණි. ඒ, අද පෙරවරුවේ, මැතිවරණ ප්‍රචාරක පත්‍රිකා බෙදමින් සිටියදීය. ඔවුන් පැමිණි මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. තව ද අද පස්වරුවේ කොම්පඤ්ඤවීදිය පොලීසිය ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් ජන්ද දායකයින්ගෙන් ඉල්ලිමක් කර තිබේ. ඒ, ඡන්දපොළ ආරක්ෂාව සලසා ඇති බැවින් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන්නැයි දැනුම් දෙමිනි.