මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 23 ක්

ඡන්දය ප්‍රකාශය කිරීමේ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 23 ක් - පොලීසිය

by Staff writer 05-08-2020 | 9:50 PM

COLOMBO (News 1st) - අද දිනයේ (05) ඡන්දය ප්‍රකාශය කිරීමේ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 23 ක් වාර්තා වූ බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසූවේ, අද දිනයේ වාර්තා වූ පැමිණිලි ප්‍රමාණය 29 ක් බවයි. අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් 34 ක් වාර්තාවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. කිසිදු අපේක්ෂකයෙක් අද දිනයේ අත්අඩංගුවට ගෙන නොමැති බවත් අත්අඩංගුවට ගත් සියලුදෙනා ආධාරකරුවන් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. ඡන්ද මධ්‍යස්ථානවල සිදු කරන ලද වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන්ගෙන් එක් පුද්ගලයෙක් නාවලපිටිය ප්‍රදේශයේදීත් අනෙක් පුද්ගලයා පිළියන්දල ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. ඔවුන් දෙදෙනාම තමන්ගේ ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, එක් ඡන්ද පෙට්ටියක ආරක්ෂාව වෙනුවෙන් එක් නිලධාරියෙකු බැගින් යොදවා ඇති බවය. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵල නිකුත් කර සතියක් යනතුරු පෙළපාලි පැවැත්වීම තහනම් බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.