TikTok වික්කොත් ගනුදෙනුවේ කොටසක් භාණ්ඩාගාරයටත්?

TikTok වික්කොත් ගනුදෙනුවේ කොටසක් භාණ්ඩාගාරයට අවශ්‍යයි - ට්‍රම්ප්

by Staff writer 04-08-2020 | 7:37 PM
COLOMBO (News 1st) : ඇමරිකානු ජනාධිපති ටොනල්ඩ් ට්‍රම්ප් මේ දිනවල ටික් ටොක් ප්‍රශ්නයක පැටලී සිටී. චීන සමාගමකට අයිති මේ ඇප් එක ඇමරිකානු සමාගමකට විකුණන ලෙස ඔහු බලපෑම් කළේ ය. දැන් ඇමරිකානු ජනාධිපතිවරයාපවසන්නේ, TikTok ඇමරිකානු සමාගමක් මිලදී ගත හොත් ගනුදෙනුවේ සාධාරණ කොටසක් භාණ්ඩාගාරයට අවශ්‍යයි බවයි. TikTok වඩාත් ජනප්‍රිය වී ඇත්තේ, විනෝදාත්මක ඇප් එකක් ලෙසයි. චීනයේ බයිට් ඩාන්ස් සමාගමට අයිති මේ ඇප් එක ලොවපුරා පරිශීලනය කරන ක්‍රියාකාරී පිරිස මේ වනවිට මිලියන 500 ඉක්මවා තිබේ. ඇමරිකාව පවසන්නේ TikTok හරහා ඇමරිකානුවන්ගේ පෞද්ගලික දත්ත චීන රජය ලබා ගන්නා බවයි. මේ නිසා TikTok ඇමරිකානු සමාගමකට විකුණා දමන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා දැනුම්දී ඇති අතර එසේ නොකළොත් ඇමරිකාවේ ටික් ටොක් තහනම් කරන බවට අනතුරු අඟවා තිබේ. ඇමරිකාවේ මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡාවකින් පසුව ටික්ටොක් මිලදී ගැනීමට ඇති හැකියාව ගැන දිගටම සාකච්ඡා කරන බව ප්‍රකාශ විය. කෙසේවෙතත් ඇමරිකාව අවධාරණය කරන්නේ සැප්තැම් 15 ට පෙර මයික්‍රසොෆ්ට් හෝ වෙනත් ඇමරිකානු සමාගමකට TikTok විකුණා නොදමන්නේ නම් රට තුළ එය තහනම් කරන බවයි. ඉන්දියාව දැනටමත් TikTok තහනම් කර තිබේ.