CID ශානිගේ සහයකගෙන් අධිකරණයේදී අනාවරණයක්...

CID ශානිගේ සහයකගෙන් අධිකරණයේදී අනාවරණයක්...

by Staff writer 04-08-2020 | 2:41 PM

COLOMBO (News 1st) - බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ සහයකයෙකු ලෙස ක්‍රියා කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලබන 7 වනදා දක්වා රක්ෂිතබන්ධනාගාරගත කළේ ය.

ඒ සැකකරු අද ගම්පහ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ඇඹිලිපිටිය පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී උපපොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් මහතා කොළඹ අපරාධ කෝට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණ. සැකකාර පොලිස් නිලධාරියා අද ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවට ඉදිරිපත් කළේ ය. 2014 වසරේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට එරෙහිව පවතින නඩු කටයුත්තකට අදාළව , ගිනි අවි හඳුන්වා දී අධිකරණ කටයුත්තක් සඳහා ව්‍යාජ සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් මහතාට චෝදනා එල්ලකර තිබේ. මෙම චෝදනාවට අදාළව මීට පෙර අත්අඩංගුවට ශානි අබේසේකර මහතා ද 7 වනදා දක්වා රක්ෂිත බන්ධානාගතකර සිටී. උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද අතුකෝරල මහතා අද අධිකරණය හමුවේ සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවූ තම සේවාදායකයාගෙන් ප්‍රකාශ ලබා ගන්නා අවස්ථාවේ එහි නිලධාරියෙකු බලපෑම් කර ඇති බවයි. කොළඹ අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි "නෙවිල් "නමැති නිලධාරියෙකු ඔහුට බලපෑම් කර ඇති බවයි. සැකකරුට මහේස්ත්‍රාත්වරයා හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබා දීමට නීතිඥවරයා කළ ඉල්ලීම අනුව මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබාදී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දැනුම් දුන්නේ , අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානී අබේසේකර , පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා , එවක පොලිස් සැරයන්වරයෙකුව සිටි සුගත් මෝහන මෙන්ඩිස් ඇතුළු තවත් නිළධාරින් පිරිසක් ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේ නිවසක දර මඩුවක අවි තොගයක් සඟවා , පසුව එම අවි තොගය අත්අඩංගුවට ගෙන වාස් ගුණවර්ධන මහතාට අයත් බවට කරුණු වාර්තා කර අධිකරණය නොමග හරිමින් අසත්‍ය වාර්තා ඉදිරිපත් කර ඇති බවයි. වාස් ගුණවර්ධන මහතාට දැනට දඬුවම් නියමකර ඇති මොහොමඩ් සියාම් නමැති ව්‍යාපාරිකයාගේ ඝාතනයට අදාළ ගිනි අවියත් පොලිසිය භාරයට ගනු ලැබු අවි අතර පවතින්නේ දැයි, මහේස්ත්‍රාත්වරයා එහිදී විමසී ය. කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම් දුන්නේ එම ඝාතනයට යොදා ගත් ගිනි අවිය එම අවි තොගයේ නොමැති බවයි. එය මෙතෙක් පොලීසිය භාරයට ගෙන නැතැයි ද ඔවුන් අධිකරණයට දැනුම් දුන්නේ ය.