වරාය නගර ව්‍යාපෘතියේ 30කට වැටුප් ගෙවීමේ සූදානමක්

වරාය නගර ව්‍යාපෘතියේ 30කට බදු රහිත වැටුප් ගෙවීමට රජය සැරසෙයි

by Staff writer 04-08-2020 | 7:46 PM
COLOMBO (News 1st) : කොළඹ, වරාය නගර ව්‍යාපෘතියේ සේවය කරන විධායක තලයේ 30 දෙනෙකු සඳහා බදු රහිත වැටුප් ගෙවීමට ශ්‍රී ලංකා රජය සුදානම් වන බව ඉකොනොමි නෙක්ස්ට් වාර්තාවක් අනාවරණය කරයි. එම වාර්තාවේ දැක්වෙන්නේ අදාළ බදු රහිත වැටුප් ගෙවීමට රජය සුදානම් වන්නේ විදෙස් රටවලින් පැමිණ වරාය නගර ව්‍යාපෘතියේ සේවය කරන පිරිස් වෙත බවයි. ඉකොනොමි නෙක්ස්ට් වාර්තාවට අනුව වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක වකවානුව තුළ විධායක නිලධාරීන් 30 දෙනෙකු සඳහා අදාළ බදු රහිත වැටුප් ගෙවීමට රජය සුදානම් වන්නේ ගැසට් මගින් ප්‍රකාශිත උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති නීති ප්‍රකාරවයි. ඒ අනුව අදාළ ශ්‍රමිකයින්ගේ උපයන විට ගෙවන බද්ද සහ පෞද්ගලික ආදායම් බදු ඉවත් කෙරෙනු ඇති. විදේශකයින් සඳහා මෙලෙස බදු රහිත වැටුප් ගෙවීමට රජය පියවර ගෙන ඇත්තේ කුමන කාරණාවක් පදනම් කරගෙන දැයි පැහැදිලි නොමැති බව ඉකොනොමි නෙක්ස්ට් වාර්තාවේ සඳහන් ය. විශ්ලේෂකයින් පවසන්නේ, නැගෙනහිර ආසියාවේ වේගයෙන් සංවර්ධනය වන රටවල සංවර්ධන ව්‍යාපෘති සඳහා විදේශකයින් පැමිනීමේදී ඔවුන් සියලු දෙනා බදු ගෙවන බවයි. සිංගප්පුරුවේ සංවර්ධනය ව්‍යාපෘති සිදුකරන කාල සීමාවලදී විදේශිකයින් 2500 කට වඩා එරටට ශ්‍රමිකයින් ලෙස පැමිණීමට අවස්ථාව හිමි නොවන අතර යම් අයෙකු ඉහළ වැටුප් ලබන්නේ නම් ඔවුන් ස්ථීර පදිංචිකරුවන් බවට පත්විය යුතු බව ද ඉකොනොමි නෙක්ස්ට් වාර්තාවේ පෙන්වාදී තිබේ.