නාකොටික් නිලධාරීන්ගේ දේපොළ රාජසන්තක කිරීමට තීරණයක්

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නාකොටික් නිලධාරීන්ගේ දේපොළ රාජසන්තක කිරීමට තීරණයක්

by Staff writer 04-08-2020 | 12:02 PM

COLOMBO (News 1st) - වැටලීම්වලදී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය ,ජාවාරම්කරුවන්ටම අලෙවි කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා වෙනුවෙන් කළ ඇප ඉල්ලීම අද ප්‍රතික්ෂේප කළේ ය.

ඒ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අද කැඳ වූ අවස්ථාවේදීයි. සැකකාර නිලධාරීන් 13 දෙනා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය. මේ වන විට අඟුණකොළපැලැස්ස සිරකඳවුරේ රඳවා සිටින එම සැකකාර නිලධාරීන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදු නොකළ අතර, ඉදිරි දිනයකදී ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා ය. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන උප පොලිස් පරීක්ෂක චතුරංග ප්‍රේමසිරි නැමැත්තාට අයත් පෞද්ගලික වාහන 4ක රියැදුරු අසුන ඩිකිය හා අමතර රෝද සවි කර ඇති ස්ථානවල හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය වල ශේෂ ඇති බව රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇති බවද නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ට නියෝග කළේ, සැකකරු ඇතුළු සැකකරුවන් භාරයේ තිබී සොයා ගනු ලැබූ රුපියල් කෝටි තුනහමාරකට අධික මුදල් නඩු ගිණුමට බැර කිරීමට පියවර ගන්නා ලෙසයි. මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ ගබඩාවේ තිබී රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ගත් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල් 23න් විසි දෙකක්ම කපා , එහි අඩංගු මත්ද්‍රව්‍ය ඉවත් කර ඇති බව පෙනී යන බව රජයේ රස පරීක්ෂකවරයා දැනුම් දී ඇතැයි ද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට දැනුම් දුන්නේ ය.