අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

අනුරුද්ධ සම්පායෝ ඇතුළු සැකකරුවන් යළි රිමාන්ඩ්

by Staff writer 04-08-2020 | 4:32 PM

COLOMBO (News 1st) : මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා ඇතුළු සැකකරුවන් 4 දෙනා ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ චෝදනා ලැබූ සැකකරුවන්ට නීතිවිරෝධී ආකාරයට පහසුම් සැලසීම, ඒ සඳහා ලබාගෙන තිබූ දේපොළ නීති විරෝධී ආකාරයට කූඨ ලේඛන සකසා ලේකනගත කිරීම සහ ගිණුම් වැරදි ආකාරයට දැක්වීම යන චෝදනා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ඇතුළු සැකකරුවන්ට ගොනු කර තිබේ. ප්‍රධාන සැකකරුවන හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ උපුල් රාජපක්ෂ මහතා , මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ පූර්ව අධිකරණ තීන්දු පිළිබඳ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ, ඇප පනත යටතේ තම සේවා දායකයාට ඇප ලබා දිය හැකි බවයි. සම්පායෝ මහතා තවමත් චූදිතයෙකු නොවන බවත් ඔහුගේ බිරිඳ අංශභාග රෝගයෙන් පෙළෙන බවත් දියණිය කැලණිය වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන බවත් ඔහු අධිකරණයේදී ප්‍රකාශ කළේ ය. දෙවැනි සැකකරු වන උපාලි සරත් බණ්ඩාර වෙනුවෙන් කරුණු දක්වමින් ඔහුගේ නීතීඥයින් ඇප අයදුම්කළ අතර , ඔහුද රෝගී තත්ත්වයකින් පෙළෙන බවත් ඔහුට විරුද්ධව කිසිදු සාක්ෂියක් ප්‍රකාශවී නොමැති බවටත් කරුණු දැක්වී ය. තුන්වෙනි සැකකරු ද හෘද රෝගියෙකු බව ඔහුගේ නීතීඥවරු අධිකරණය ඉදිරියේ පැවසූහ. සිව්වෙනි සැකකරු සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහුගේ නීතිඥයින් ප්‍රකාශ කළේ, ඔහු සම්බන්ධයෙන් මාධ්‍ය විවිධ වැරදි වාර්තා කර තිබූ බවයි. ඔහුට පෙර වැරදි සම්බන්ධයෙන් චෝදනා නොමැති බවත් අධිකරණ නියෝගය පිළිබඳව දැනගත් වහාම භාරවූ බවත් නීතීඥයින් ඇප ඉල්ලා සිටිමින් ප්‍රකාශ කළේ ය. නමුත් නිතීපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දීලීප පීරිස් මහතා , ඇප ලබාදීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළේ ය. සැකකරුවන් සම්බන්ධයෙන් සුවශේෂී තත්ත්වයක් ක්‍රියාත්මක වන බව පෙනී යන බවත් එවැන්නක් සිදුවන්නේ කෙසේ දැයි තමන් ප්‍රශ්න කරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ ය. ඔහු පෙන්වා දුන්නේ දෙවැනි හා තෙවැනි සැකකරුවන් අධිකරණයට කරුණු වාර්තා කරන මොහොතේ එක්වරම මතුවීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි. දින 11 ක් අධිකරණය මග හැර සිටි ප්‍රධාන සැකකරු අනුරුද්ධ සම්පායෝ මහතා එක්වරම මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කුරුණෑගලට ගොස් අත්අඩංගුවට ගත්තේ කෙසේ දැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විවෘත අධිකරණයේදී ප්‍රශ්න කළේ ය. එම අත්අඩංගුවට ගැනීම පිළිබඳ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි ලෙස දැනුවත් කර නොමැති බව ද දිලීප පිරිස් මහතා පැවසී ය. මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ සටහන් අධිකරණය ඉදිරියේ ගෙන හැර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා මෙහිදී අදහස් පළ කළේ ය. ඔහු පෙන්වා දුන්නේ , පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා බුද්ධි අංශ මෙහෙයුමකින් පළමු සැකකරු අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ කලත් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට ලැබුණු තොරතුරක් මත අත්ඩංගුවට ගැනීම සිදුවූ බව සටහන්වල දැක්වෙන බවයි. එම සටහන්වල ඉහළ නිලධාරියෙකුගෙන් ලැබුණු තොරතුරු මත අනුරුද්ධ සම්පායෝ හමුවී වරෙන්තුව ගැන පැහැදිලි කර අත්ඩංගුවට ගැනීම සිදුකළ බව සඳහන් වන්නේ යැයි අද අධිකරණයේදී අනාවරණය විය. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ සම්පායෝ මහතා තමාගේ පාසලේ ආදි ශිෂ්‍යයෙකු බවත් ඔහුව හොඳින් හඳුනාගත් බවත් එම අවස්ථාව වීඩියෝ කරන්න උත්සහා දැරු පුද්ගලයෙකු වැළක්වූ බවත් සටහන්කර ඇති බවයි. අනුරුද්ධ සම්පායෝ මහතාගේ සහෝදරයා ද තමන් හොඳින් දන්නා බව පවසන මීගමුව මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා ඔහුට තේ පැන් සංග්‍රයක් දුන් බවට ද සටහන්වල දක්වා තිබේ. දිලිප පීරිස් මහතා මෙම සටහන් දක්වමින් ප්‍රශ්න කළේ, මෙවැනි සටහන් තබමින් බුද්ධි මෙහෙයුමකින් සැකකරු අත්අඩංගුවට ගත් බව පවසන්නේ කෙසේ ද යන්නයි. විත්තියේ නීතිඥයින් තම සේවාදායකයා භාරවූ බවට ඊයේ කරුණු දැක්වූ බව ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයේදී පෙන්වා දුන්නේ ය. ඔහු ඉල්ලා සිටියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා උදෑසන 9.10 ට පිටත් වූ අවස්ථාවේ සිට පස්වරු 3.42 ට සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාව තෙක් ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙසයි දින 11 ක් පොලීසියට ,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සොයා ගැනීමට නොහැකිවූ අනුරද්ධ සම්පායෝ මීගමුව පොලිස් ස්ථානාධිපතිවරයා පහසුවෙන් සොයාගත් බවත් , මෙම තොරතුරුවල පරස්පරභාවය පිළිබඳ වැඩබලන පොලිස්පතිවරයා අධිකරණයට කරුණු දැක්විය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල්වරයා පෙන්වා දුන්නේ ය. ආරක්ෂක ලේකම්වරයා අද නීතීපති දෙපාර්තමේන්තුවට පැමිණ මේ පිළිබඳව සාකච්ඡාකළ බවත් ප්‍රධාන සැකකරු භාරයේ තිබු එල් වාට්ටුවේ දෙක , හත , අට යන කාමරවල අධි සුඛෝපබෝගි උපකරණ ලබාදී ඇති බවත්, පිටු 41 ක වැඩිදුර වාර්තාවක් ඉදිරිපත්කරමින් දිලිප පීරිස් මහතා ප්‍රකාශ කළේ ය. මෙහිදී මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුරිය මහත්මිය ප්‍රකාශ කළේ, අධිකරණ නියෝගය , මාධ්‍ය හා අනෙකුත් ක්‍රම මගින් ප්‍රසිද්ධියට පත්වු බැවින් නීතීය පිළිබඳ අවබෝධයක් ඇති බන්ධනාගාර අධිකාරීවරයෙකු මෙලෙස ක්‍රියා කිරීම හිතාමතා කළ මග හැරීමක් බවයි. කුරූණැගල පොලිස් ස්ථානයකට භාරවීමට හැකියාව තිබියදී උවමනාවෙන් එය මග හැර ඇති බව පෙනී යන බව ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළා ය. සෙසු සැකකරුවන් ද හැසිරී ඇත්තේ ඊට සමාන තත්ත්වයකින් බවත් එම කරුණු මත ඇප ලබා දිය නොහැකි බවත් විමර්ශන හා පරීක්ෂණ ක්‍රියාවලියට මෙන්ම සාක්ෂිකරුවන්ටද බලපෑම් සිදුවිය හැකි බවටත් තම නියෝගය ලබා දෙමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළා ය.