ඡන්ද පොළක කලබලයක් ඇති වුණොත් වෙන දේ මෙන්න..

ඡන්ද පොළක කලබලයක් ඇති වුවහොත් නැවත එහි ඡන්ද විමසීමක් පැවැත්වීමට පසුබට වන්නේ නැහැ - මැතිවරණ කොමිසමේ සභාපති

by Staff writer 03-08-2020 | 4:05 PM

COLOMBO (News 1st) - යම් ආකාරයකට ඡන්ද පොළක කලබලයක් ඇති වුවහොත් එම ඡන්ද පොළ හා ප්‍රදේශයේ, ඡන්ද විමසීම ශූන්‍ය කර නැවත ඡන්ද විමසීමක් පැවැත්වීමට පසුබට නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ලබන 5 වැනි දා පෙරවරු 7.00 ට මහ මැතිවරණ ඡන්ද විමසීම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. ඡන්ද මධ්‍යස්ථාන 12,995 කදී ඡන්දය පැවැත්වෙන අතර මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයින් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂයකට අධිකය. අපේක්ෂකයින් හත්දහස් හාරසිය පනස් දෙකක් මෙවර මහ මැතිවරණය සඳහා තරග කරනු ඇති. මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ, පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද පෙට්ටි ප්‍රවාහනය හෙට පෙරවරු 8.00 සිට සිදුවන බවයි. ඔහු ඉල්ලා සිටියේ, නිහඬ කාලය ආරක්ෂා කරන ලෙස සමාජ මාධ්‍යන්ගෙන් ද ඉල්ලා සිටින බවය. නිරෝධායනයට ලක්වන සහ නිවෙස්වල නිරෝධායනයට ලක්ව සුවය ලැබූවන්ට පස්වරු 4.00 සිට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. යතුරුපැදි පෙළපාලි වැනි නීති විරෝධි ක්‍රියා වැළැක්වීමට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවත්, ඇතැම් ප්‍රදේශවලට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන පොලීසිය යොදවන ලෙසට ඉල්ලා ඇතැයි ද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. https://www.facebook.com/NewsfirstSL/videos/210437457064763/