ගමකට පාරක් කපද්දී විනාශ වූ පුරාවස්තු ගැන විමර්ශන

අනුරාධපුරයේ ගමකට පාරක් කපද්දී පුරාවස්තු විනාශ වීමක් ගැන විමර්ශන

by Staff writer 03-08-2020 | 2:12 PM

COLOMBO (News 1st): අනුරාධපුර, මහකනදරාව, තුනේ ඇළ ගම්මානයේ පිවිසුම් මාර්ගය ප්‍රතිසංස්කරණයේදී පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇතැයි සැලකෙන ශේෂයන් විනාශ වීම සම්බන්ධයෙන් මිහින්තලය පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මහකනදරාව තුනේ ඇළ ගම්මානය පිහිටා තිබෙන්නේ මිහින්තලය පූජා භූමියේ සිට කිලෝමීටර් 7ක් පමණ දුරින් ය. ගම්මානයේ ඇති මෙම මාර්ගය අබලන්වීම නිසා එහි ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ මීට සති දෙකකට පමණ පෙරයි. ඒ, රඹෑව ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන යටතේ ය. මාර්ගය ප්‍රතිසංස්කරණයේදී පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් යැයි සැලකෙන ගල්කණු සහ ගඩොල් විනාශ කර ඇති බව නිරීක්ෂණය කළ බව මිහින්තලය පොලීසිය ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත් මහකනදරාව තුනේ ඇළ ගම්මානයේ පිවිසුම් මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු මේ වනවිට අත්හිටුවා තිබේ.