අංගොඩ ලොක්කා කොයිම්බතූර්වල මිය ගිහින්

අංගොඩ ලොක්කා කොයිම්බතූර්වල මිය ගිහින් - අත්අඩංගුවට ගත් කාන්තාවක් ඉන්දීය පොලීසියට හෙළිකරයි

by Staff writer 03-08-2020 | 9:26 PM

COLOMBO (News 1st) - පාතාල කල්ලි නායකයෙකු බව කියන ලසන්ත චන්දන පෙරේරා නොහොත් 'අංගොඩ ලොක්කා' ඉන්දියාවේදී මිය ගොස් අතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අද තහවුරු කර තිබේ.

පුවත්පත මේ බව තහවුරු කළේ, අංගොඩ ලොක්කා සමග සිටි බව කියන කාන්තාවකගේ සාක්ෂි පදනම් කර ගෙනයි. අංගොඩ ලොක්කා නමැත්තා ඉන්දියාවේ රැඳී සිට ඇත්තේ, ප්‍රදීප් සිං නමින් පෙනී සිටිමිනි. ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා පිළිබඳව ද හින්දු, ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා, ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් මෙන්ම තමිල්නාඩු පුවත් පත් කිහිපයක්ම අද විශේෂ අනාවරණයක් කර තිබුණි. කාන්තාවන් දෙදෙනෙකු සහ තව ත් පුද්ගලයෙකු ඊයේ කොයිම්බතූර් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුනේ, අංගොඩ ලොක්කාට ප්‍රදීප් සිං නමට ආධාර් කාඩ් ලෙස හඳුන්වන හැඳුනුම්පතක් ලබා ගැනීමට ව්‍යාජ ලේඛන සකස් කිරීම සහ ඔහුගේ සිරුර අදාහනය කිරීම යන චෝදනා මතයි. 27 හැවිරිදි අමානි තාන්ජි, නීතිඥවරියකවන 36 හැවිරිදි සිවකාමී සුන්දරී සහ එස්. ත්‍යාගේෂ්වරන් නමැති සැකකරුවන් තුන්දෙනා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. ත්‍යාගේෂ්වරන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ව්‍යාජ ලියකියවිලි සකස් කිරීමේ චෝදනාව මතය. ඊට අනුබලදීම මත සිවකාමී සුන්දරී නමැති නීතිඥවරිය අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය පුවත්පත් වාර්තා කළේ ය. ඉන්දීය පුවත්පත් අනාවරණය කර ඇත්තේ, අමානි තාන්ජි නමැති 27 හැවිරිදි කාන්තාව ශ්‍රී ලංකාවේ සිට මේ වසරේ පෙබරවාරි මාසයේ සිට අංගොඩ ලොක්කා සමග කොයිම්බතූර්හි චෙරන්මා නගර් ප්‍රදේශයේ වාසය කර ඇති බවයි. අංගොඩ ලොක්කා කොයිබතූර්හි කායවර්ධන මධ්‍යස්ථානවලට ප්‍රෝටීන් උත්තේජන සැපයීමේ ව්‍යාපාරයක නිරතවී සිට ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අද පස්වරුවේ අනාවරණය කළේ ය. පුවත්පත වාර්තා කළේ, සිවකාමී සුන්දරී නමැති නීතිඥවරිය ඉන්දියාවේදී මාස 3 ක කාලයක් ප්‍රදීප් සිං ලෙස පෙනී සිටි අංගොඩ ලොක්කාට සිය නිවසේ රැකවරණ ලබාදී ඇති බවය. පසුව කොයිම්බතූර් නගරයේ අමානි තාන්ජි සමග වාසය කිරීමට අත්අඩංගුවේ සිටින ත්‍යාගේෂ්වරන් නමැති පුද්ගලයාගේ නමට අංගොඩ ලොක්කාට නිවසක් ලබාගෙන ඇති බවයි. අංගොඩ ලොක්කා 2018 ඉන්දියාවට පැමිණ ඇති බව ද විමර්ශනවලදී අනාවරණයවී ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත සඳහන් කළේ ය. පසුගිය ජුලි 3 වැනි දා ප්‍රදීප් සිං ලෙස පෙනී සිටි අංගොඩ ලොක්කා පපුවේ ඇති වූ ආබාධයක් නිසා කොයිම්බතූර් වෛද්‍ය විද්‍යාල රෝහලට ඇතුළත් කර තිබුනේ ඔහු සමග සිටි අමාන තාන්ජි නමැති කාන්තාව විසිනි. එම අවස්ථාවේ ඔහු සිහිසුන්ව සිට ඇති අතර එදිනම මියගොස් ඇතැයි ඉන්දීය පුවත්පත් වාර්තාවල සඳහන් ය. අනතුරුව තාන්ජි සහ සුන්දරී එක්ව මියගිය පුද්ගලයා ඥාතියෙකු ලෙස පවසා සිරුර රෝහලෙන් පිටතට ගෙන මදුරෙයි ප්‍රදේශයට රැගෙන ගොස් අදාහනය කර තිබේ. නමුත් ඔවුන් පොලීසියට දැනුම්දී ඇත්තේ සිරුර වල දමන බවයි. අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගිය බවට පළ වූ වාර්තාවලින් පසුව ශ්‍රී ලංකා පොලීසිය මේ පිළිබඳව තමිල්නාඩු පොලීසිය දැනුවත් කර ඇතැයි ඉන්දීය පුවත් වාර්තාවල සඳහන් ය. පසුව කොයිම්බතූර් පොලීසිය යළිත් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එහිදී අංගොඩ ලොක්කාගේ සිරුර නිදහස් කර ගැනීමට ඉදිරිපත් කළ ලේඛන ද ව්‍යාජ ඒවා බව ආනාවරණය කර තිබේ. කොරෝනා හේතුවෙන් රට වසා තිබූ අවස්ථාවක අංගොඩ ලොක්කාගේ සිරුර කොයිම්බතූර් සිට කිලෝමීටර් 216 ක් දුරින් පිහිටි මදුරෙයි දක්වා රැගෙනයාම පිළිබඳව ද සැකයක් මතුවන බව ඉන්දීය පුවත්පත් වාර්තාවල සඳහන් ය. ඒ සඳහා තමිල්නාඩු පාතාලය ඔවුන් සමග සබඳතා පැවැත්වූයේ දැයි ඉන්දීය පොලීසිය දැන් විමර්ශනයක් ආරම්භ කර ඇත. මේ අතර අමානි තාන්ජි නමැති කාන්තාව මියගිය ප්‍රදීප් සිං ලෙස පෙනී සිටි පුද්ගලයා අංගොඩ ලොක්කා ලෙස තහවුරු කර ඇති බවත් ඔහුට විෂ ශරීරගත කළ බවට නැගෙන චෝදනාව අසත්‍ය බවත් ප්‍රකාශ කර ඇතැයි ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත අද පස්වරුවේ වාර්තා කළේ ය. මරණයට හේතුව තහවුරු කර ගැනීමට සිරුරු කොටස් මේ වනවිට පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ජාතිය සේනාරත්න මහතාගෙන් අද මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔහු දුන් පිළිතුර මේ... පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න,
ලසන්න පෙරේරා කියන ඔය සැකකරු ශ්‍රී ලංකාවේ යම් යම් වරදවල් සඳහා අවශ්‍යකරන සැකකරුවෙක් අපට දැනට අනාවරණය වෙලා තියන තොරතුරු අනුව එවැනි මිය යාමක් හෝ එවැනි නම වෙනස්කර සැඟව සිටිමක් පිළිබඳ තොරතුරු වාර්තාවෙලා නෑ. ඉන්දියානු මහ කොමාසාරිස් කාර්යාලයත් සමග ඒ අවශ්‍ය කටයුතු කිරීම සඳහා පියවර අරං තියනවා
මේ අතර අංගොඩ ලොක්කාට බලෙන් අත්පත්කරගෙන සිටි බව කියන ඉඩම් කිහිපයක් ඊයේ පොලීසිය නිරීක්ෂණය කළේ ය. පසුගිය දිනක මුල්ලේරියාව පොලීසිය අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු බව කියන තාමුල ආරච්චිගේ සමන් කුමාර හෙවත් සෙම්බු සමන්ත නැමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව මෙම ඉඩම් සොයා ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පර්චස් 929 ක් පමණ වන අදාළ ඉඩම්වල වටිනාකම රුපියල් මිලියන 500 කට අධික බවයි. 2017 පෙබරවාරි 27 එතන මඩල ප්‍රදේශයේදී කළුතර බන්ධානාගාරයේ බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර සමයං නමැති පාතාල නායකයා ඇතුළු පිරිස ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ලවී ඇත්තේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තාටය. https://www.facebook.com/NewsfirstSL/videos/1182423828802733/