මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ රිමාන්ඩ්

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ රිමාන්ඩ්

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ රිමාන්ඩ්

කර්තෘ Staff writer

03 Aug, 2020 | 3:29 pm

COLOMBO (News 1st) – මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, අද පස්වරුවේ ඔහු මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජී.ගුණදාස මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ චෝදනා ලැබූ සැකකරුවන්ට නීති විරෝධි ආකාරයට පහසුම් සැළසීම, ඒ සඳහා ලබාගෙන තිබූ දේපොළ නීති විරෝධි ආකාරයට කූට ලේඛන සකසා ලේඛනගත කිරීම සහ ගිණුම් වැරදි ආකාරයට දැක්වීම යන චෝදනා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතාට ගොනු කර තිබේ.

මීට පෙර මෙම චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

අද පස්වරුවේ අනුරුද්ධ සම්පායෝ මහතා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහුගේ නීතිඥ කැලුම් කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ, රජයේ නිවාඩු දිනයක් වූ අද නීතිපති දෙපාර්තමේන්තුව මෙම නඩුව කෙරෙහි පමණක් විශේෂයෙන් පැමිණ කටයුතු කිරීම නීතිපතිවරයාගේ බලපෑමක් මත සිදුවන බවයි.

එම දෙපාර්තමේන්තුව මාධ්‍ය සංදර්ශන සිදු කළ බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ මෙතෙක් ඉතිහාසය තුළ සිදු නොවූ දේවල් මෙම නඩුවේදී සිදුවන බවත් ඔහු කියා සිටියේ ය.

අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බවත් ඔහු පොලීසිය වෙත භාර වූ බවත් නීතිඥවරයා කියා සිටි අතර එම භාරවීම රජය අපහසුතාවයට පත් නොකරන ලෙස ඉහළින් පැමිණි බලපෑමක් මත සිදු වූ බව ද ප්‍රකාශ කළේ ය.

එය ප්‍රතික්ශේප කරමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ, තමා සතුව ඇති වාර්තාවලට අනුව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායමක් මගින් සම්පායෝ මහතා අත්අඩංගුවට ගත් බවය.

පොලිස්ථාන 11 ක් තිබෙන කුරුණෑගල දිස්ත්‍රික්කයට කිලෝමීටර් 72 ක දුරක් මීගමුව පොලීසිය එසේ නම් ඒ ගියේ කුමකටදැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී ප්‍රශ්න කළේ ය.

පොලිස් ජීප්රථයක් තුළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ද ළඟින් සිටිය දී වරෙන්තුකරුවෙකු මාධ්‍ය ප්‍රකාශ සිදු කරන අයුරු මීට පෙර දැක නොමැති බව ද ඔහු අධිකරණයට පෙන්වා දුන්නේ ය.

මේ අතර අද නඩුව කැඳ වූ අවස්ථාවේ මාධ්‍යවේදීන්ට පනවා තිබූ සීමා ගැන ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු මතු කර තිබේ.

දිලීප පීරිස් මහතා කියා සිටියේ, සාමාන්‍යයෙන් අධිකරණය සමීපයට පැමිණ වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් අවදානම් ස්ථානයකට නංවා අපහසුතාවයට පත්කර ඇති බවයි.

නිරෝධාන නීතිය ක්‍රියාත්මකවන අවස්ථාවක සම්පායෝ මහතා මුහුණු ආවරණයක් නොමැතිව අධිකරණයට පැමිණීම පිළිබඳව ද ඔහු වැඩබලන මහේස්ත්‍රාත්වරයාගේ අවධානය යොමු කළේ ය.

මෙහිදී විත්තියේ නීතිඥයින් සැකකරුව මීගමුව හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එය බන්ධනාගාර කොමසාරිස්වරයාට තීරණය කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

සැකකරු හෙට යළි ත් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අනුරුද්ධ සම්පායෝ මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නියෝගයක් නිකුත් කළේ පසුගිය 22 වැනි දායි.

සැකකරු අත්අඩංගුවට ගැනීම ප්‍රමාදවීම ගැන නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා මාධ්‍ය හමුවක් කැඳවා පොලීසියේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචචනය කළේ ය.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන්, මීට පෙර අධිකරණයට භාර වූ ජේලර්වරුන් තිදෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩබලන නිලනොලත් මහේස්ත්‍රාත් නීතිඥ ඉන්දික සිල්වා මහතා පසුගිය දා නියෝග කළේ ය.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ මීගමුව බන්ධනාගාරයේ සේවය කළ ප්‍රධාන ජේලර් උපාලි සරත් බණ්ඩාර, දෙවන පෙළ ජේලර් නිශාන්ත සේනාරත්න හා ජෙලර්වරයෙකු ලෙස සේවය කළ ප්‍රසාද් කාලිංග කළුඅග්ගල යන නිලධාරීන් තිදෙනායි.

අනුරුද්ධ සම්පායෝ රිමාන්ඩ් වාර්තාකරණයට ගිය මාධ්‍යවේදීන්ට බාධා

🔺අනුරුද්ධ සම්පායෝ රිමාන්ඩ් වාර්තාකරණයට ගිය මාධ්‍යවේදීන්ට බාධා #lka #News1st #CLM #Anuruddhasampayo

Posted by Newsfirst.lk on Monday, August 3, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]